Tuesday, February 28, 2017

යන්න !! ගිහින් ඇලිස්ගෙන්ම අහගන්න !!



මේ ඇලිස් යනු පුද්ගලයෙක් නෙවෙයි. ඇමෙරිකාවේ කොලොම්බියා විශ්විද්‍යාලයේ ස්වෙච්ඡා පුද්ගලයන් කණ්ඩායමක්.  ඒ අය අතර සෞඛ්‍ය පිළිබද විශේෂඥයන් සහ වෛද්‍යවරුන් සිටිනවා. ඇලිස්ගේ භාෂාව ඉංග්‍රීසි.



සෞඛ්‍ය සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්න, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ප්‍රශ්න , මධ්‍යසාර සහ මත්ද්‍රවය ගැන ප්‍රශ්න, පෝෂණය සහ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න, මානසික සෞඛ්‍ය ගැන වැනි ප්‍රශ්න ඇලිස්ගෙන් අහන්න පුළුවන්.

ඇලිස් කලින් එවැනි ප්‍රශ්න වලට දීපු පිළිතුරු  වල ඒ කරුණු අඩංගු වෙන්නේ නැති නම් තමයි ඇලිස් අලුතින් පිළිතුරු සපයන්නේ.

ඇලිස්ගෙන් අහල බලන්න.    

Monday, February 27, 2017

ජපන් මැන්ඩලින් සහ ඔකිනාවා-ජපන් ගීත

කලින් පොස්ට් එකේ කොමෙට් වලින් ඇතිවුන පොඩි කතාව ඇතුලේ ජපන් මැන්ඩලින් ගැනත් කියවුනා. "ජපන් ඇනෝ" මිත්‍රයා කියල තිබුන ජපන් මැන්ඩලින් එකේ ජපන් නම් "තයිශෝ ගොතෝ" බව. ඔහු එවපු ලින්ක් බලනවිට දැකපු ජපන් සංගීත වීඩියෝ හරිම අපූරුයි.

ජපානය කියන්නේ ලෝකයේ තිබෙන ඉහලම දියුණුවකින් යුතු රටක් වගේම ඉතා අනන්‍ය පෙරදිග සංස්කෘතියකුත් තවම ඔවුන් අතරේ තරමක් දුරට හෝ රැකිලා තිබෙනවා.

ජපන් සංගීතය ගැන උනන්දු අයට ඒ ගැන සොයා බැලීමට උත්ප්‍රේරකයක්  විදියට පහල වීඩියෝ කිහිපය අමුණනවා.


හදවත පාරන ශෝකී ස්වරයකුයි මේ "තයිශෝ ගොතෝ" වාදනයේ මට ඇසෙන්නේ.



මේ සන්ෂින් (三線) වයමින් ගයන ඔකිනාවා ගායිකාව ජපන් භාෂාව නොතේරෙන කෙනෙකුගේ වුනත් හදවතට ආමන්ත්‍රණය කරන බවයි මට හිතෙන්නේ. ඔකිනාවා හි නිල පුෂ්පය වන "දෙයිගෝ" මල් ගැනත් මේ ගීතයේ කියවෙනවා. 




මේ "තයිශෝ ගොතෝ" වාදනයේ හින්දි ගීත වාදනයකට සමාන බවක් දැනෙනවා.




මේ ඔකිනාවා ගීතයත් ඉතා කන්කළු බවයි මම හිතන්නේ.





සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ශ්‍රී ලංකාවේ සංගීතය සහ ජපන් සංගීතයේ සමානකම් තිබෙනවාද කියා ඔබට හිතෙනවද ?

Saturday, February 25, 2017

අරුන් මෝලිගේ ITN මැජික් සහ Nitinol Alloy

මේ දවස් වල ITN එකේ ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන කඩවසම් මැජික් කරුවෙක් තමයි අරුන් මෝලි ලෙස කියවෙන්නේ. අලංකාර විදියට ජැපනීස් මැන්ඩලීන් එක වාදනය කරන තරුණියත් ඉතාම දක්ෂයි. තවත් එවැනි දක්ෂයෝ හිටියා. තරුණ අයට එවැනි අවස්ථා ලැබීම ඉතා හොඳ දෙයක්. අරුන්ගේ අපූරු ඉදිරපත් කිරීම අගය කරන ගමන් එහි ඔහු යොදාගතිපු කම්බි වර්ගය යයි මම අනුමාන කරන නිටිනොල් (Nitinol) ගැන තමයි මේ කෙටියෙන් ලියන්නේ.



Nitinol කියන්නේ Nickel සහ Titanium අඩංගු ඇලෝයි  එකක්. රත් කරලා බලයක් යොදා හැඩගස්වලා වතුරේ ඔබල නිව්වට පස්සේ ඒ හැඩය මතක තබා ගන්න (Shape Memory Effect) නිටිනොල් වලට පුළුවන්. පසුව හැඩය වෙනස් කරලා නැවත රත් කරනවිට අර හදපු මුල් හැඩයට නැවත පත් වෙනවා.






නිටෝනොල් වල යෙදීම් ගොඩක් විද්‍යාවේ පර්යේෂණ වල සිදු වෙනවා. කෘතීම පේශි සහ නිටිනොල් තාප එන්ජිම ඒවගෙන් කීපයක්. ගැන අදටත් ලෝකේ පර්යේෂණ සිදු වෙනවා. නමුත් නිටිනොල් කියන්නේ ඉතා මිලඅධික මිශ්‍ර ලෝහයක්.




මැජික් යෂ්ටියක් වගේ අපූරු දේවල් කරන්න පුළුවන් මැටීරියල් සයන්ස් වලට අපේ ලංකාවේ තවම තිබෙන්නේ තරමක අඩු සැලකිල්ලක්.

නිටිනොල් වල Shape Memory Effect එන Chemistry/Physics  ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. :D


Monday, February 6, 2017

SAITM – සියල්ල එකට පැටලවීම වෙනුවට ටිකක් ලිහාගැනීමට



මින් පෙරද වෙනත් බ්ලොග්වල අදහස් දැක්වීමේදී මේ ගැන ලිවීමට යෝජනාවක් ලැබුන නමුත් එයින් වැලකී සිටියේ මිනිසුන් අතරට හැකි පමණින් විද්‍යාව ගෙනයාමේ මගේ උත්සාහයට ඉන් ඇතිවිය හැකි බාධාවන් සැලකීමෙනි. එහෙත් මනුෂ්‍යයෙකුගේ ජීවන හැඩය තීරණය කරන, කෙනෙකුට උපයා ගත හැකි වටිනාම වස්තුව වන දැනුම උපයා ගැනීම වැළකීමේ අශීලාචාර රැල්ලක් අපේ  රටේ ඇතිවන විට ඒ ගැන හැකිපමනින්, තේරුම් ගත හැකි ප්‍රමාණයට අනුව හරියයි සිතනා කරුණු ලියා තැබීමට මටද වගකීමක් තිබේ.

රජයේ විශ්විද්‍යාල, අර්ධ රාජ්‍ය විශ්විද්‍යාල, හා පුද්ගලික අංශයේ විශ්විද්‍යාල වල මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී ද, මහජන මුදලින් ඉගෙන ගන්නා සිසුන්ගේ ධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී පවත්වා ගන්න ගුණාත්මක භාවයම තිබිය යුතු බවට එකඟ නොවෙන අය එතරම් සිටීදැයි සැක සහිතය. බොහෝ දෙනෙකු ඊට එකඟය. නමුත්, විශ්විද්යාලයකට ඇතුලත් වීමට අවශ්‍ය මුලික සුදුසුකම ලැබූ අයට, තමුන් කැමති ක්ෂේස්ත්‍රයකින් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කිරීමට ඇති අයිතිය අහෝසි කිරීමට මම තරයේ විරුද්ධ වෙමි. උත්සාහය අවසානයේ, තිබියයුතු අවම මට්ටමට ඔවුනට පැමිණීමට නොහැකි නම් ඕනෑම කෙනෙකු අසමත් කර එතනින් ඉවත් කිරීම සාධාරණ වුවද, තම වියදමින් එය උත්සාහ කර බැලීමට ඉඩ නොතබා එලවා දැමීම අශීලාචාර ක්‍රියාවකි. නමුත් දැන් සිදුවන්නේ උත්සාහ කිරීමට ඉඩ නොදී එලවා ගැනීමේ එම අශීලාචාර ක්‍රියාවයි.

මුදල් ගෙවා අධ්‍යාපනය ගැනීමට කරන උත්සාහයට විරුද්ධ වන සමහර සමාජවාදීන් මෙහිදී  යෝජනා කරන්නේ සියල්ලන්ට අධ්‍යාපනය නොමිලේ දිය යුතු බවයි. තවත් තැනකදී, ඔවුන් කියන්නේ මුදල් අය කර උගන්වන විශ්විද්‍යාල මගින් ඉහල වැටුප් වලට හොඳම මහාචාර්ය වරුන් ඇදගනු ඇති බවයි. මෙයම විසංගතතාවයකි (discrepancy). මහාචාර්ය වරුන් රඳවා ගැනීමට ඉහල වැටුප් ගෙවීමටවත් මුදල් නොමැති බව පිළිගන්නා අතරම ඒ වෙනුවට සියල්ලන්ටම නොමිලේ රජයෙන් අධ්‍යාපනය දිය යුතු බව කියනවා නම් ඔවුන් සිටින්නේ සිහියෙන් දැයි සැක සහිතය. 

මේ කතාව සයිටම් සමග බැදී තිබෙන බැවින් ඒ සමගින් අරඹමු.

සයිටම් ගැන කතාවේ ඉදිරිපත් කෙරෙන ප්‍රධාන සංකීර්ණ ගැටළු 3 ක් මට පෙනේ මේ තුනම එකට පටලවා චක්‍රයක් සේ විටින් විට කියවීම බහුලව සිදුවේ. ඔවුන් විසින්ම ඇති කරමු ලැබූ සංකීරණ පැටලවීම පෙන්වා එය විසඳීමෙන් තොරව අත්හැරිය යුතු බව ඔවුන් ගේ තර්කය විය හැකිය. නමුත් ගැටළු විසඳීමේ විද්‍යාත්මක ක්‍රමය නම් පෙනෙන ප්‍රධාන ගැටළු එකින් එක විසඳමින් ඉදිරියට ගොස් සාර්ථක අවසානයකට යාමයි. මම තරුණ විද්‍යාඥයෙක් මි. මම උත්සාහ කරන්නේ මට පෙනෙන විද්‍යාත්මක විසඳුමක් ලියා තැබීමටයි. මම කරුණු එකින් එක සලකමි.


1. ඇතුලත් කර ගැනීමේදී ඇති අසමානතාවය.

මුදල් ඇති අය දොස්තර වෙද්දී මුදල් නැති අය කොන්දොස්තර වෙනවා යයි මෙහිදී කතාවට එයි.

මුදල්, බලය, පුද්ගලික සම්බන්ධතා මත පදනම් වූ අසමානත්වය නැති තැනක් මිහිපිට නොපවතී. අඩුම තරමේ පුජ්‍ය පක්ෂයට ඇතුළුවීම වත් ඉන් මිදී නැත. ලෝකයේ නොපවතින සර්ව සාධාරණ සමාජයක් ගැන උපකල්පනය කල හැක්කේ පරිපූරණ සමාජවාදයෙදී පමණි. එහෙත්, උපකල්පිත පරිපූරණ සමාජවාදයෙදී දොස්තරද කොන්දොස්තරද සම තත්වයේ ජීවන ප්‍රතිලාභ ලබන බැවින්, දොස්තර-කොන්දොස්තර වීම යන ගැටලුව සම්පූර්නයෙන්ම පාහේ අහෝසී වී යනු ඇතැයි මම උපකල්පනය කරමි.

මේ මොහොතේ මේ පෘතුවියේ කොතැනක හෝ නොමැති තත්වයක්, අනන්ත අප්‍රමාන ගැටළු ඇති ණය බරින් හෙම්බත් වුන  දියුණු වෙමින් පවතින රටක ඇතිකිරීමට බලාපොරත්තු වෙමින් සිටීමේ ඵලදායක බව කියවන ඔබට සිතිය හැකිය. 

ඒ අතරම විදේශගත වී මුදල්ගෙවා ඉගෙන ගෙන උපාධි ගැනීම කිසිවෙකුට නතර කල නොහැකිය. GMOA පවා මෙහිදී පවසන්නේ වෛද්‍ය උපාධිය හැරෙන්නට මුදල් ගෙවා ඉගෙන ගන්නා අනෙකුත් උපාධි පාඨමාල වලට ඔවුන් විරුද්ධ නැති බවයි.

2. විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය.

විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය ඉතා හොඳින්, නොමිලේ අධ්‍යාපනය ලබන අයටත් වඩා නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කරමින් නියාමනය කල යුතුය. ඒ වියදම් මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් විසින්ම දැරිය යුතුය. නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක්කළ යුත්තේ ඔවුන්ගේ තත්වය ඔවුනට වඩා දක්ෂ නොමිලේ අධ්‍යාපනය ලබන අයගේ තත්වය දක්වා ඉහල දැමීමටයි. අවසානයේ මුදල් ගෙවා ඉගෙන ගන්න අයද, නොමිලේ ඉගෙන ගත් අයගේ තත්වයට පැමිණ රටේ මෙන්ම ලෝකයේ ඉදිරි ගමනට එකිනෙකා පරයන සේ දායක වීමේ හැකියා ලබන තෙක් වැඩි අවධානයකින් යුතුව නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කල යුතුය. ආසියාවේ දියුණුතම රටක් වන ජපානයේ පුද්ගලික විශ්වවිද්‍යාල වල අය කිරීම රජයේ විශ්විද්යාලව අයකිරීම මෙන් දෙගුණයකි. එසේ වන්නේ රටේ දියුණුවට අවශ්‍ය වන ලෙස ඔවුන් සකස් කිරීමට අවශ්‍ය වන ඉහත කී ඇගයීම් හා පුහුණු කිරීම් සඳහා වැය වන සම්පත් ප්‍රමාණය වඩාත් අධික වීම නිසයි.

ස්වභාවික සම්පත් වෙනුවට ස්වභාවික අනතුරු උරුම ජපානය ආසියාවේ දියුණුතම බලවත් රටක් බවට පත්වන්නේ එසේ දියුණු කරන ලද මානව සම්පත මත පමණක් යැපීමෙනි. පිරිසිදු කිරීමේ සේවා වල පවා උපාධිදාරීන් සිටින ජපානය ලෝකයේ පිරිසිදුම ක්‍රමවත්ම රටකි. මානව සම්පත දියුණු කිරීමේ ප්‍රතිලාභ ඉතා ඉහල බව පෙනේ. අපේ තරඟකාරී අවස්ථා සුරක්ෂිත කරගත යුත්තේ කැපවීමෙන් තමන්ගේ ගුණාත්මක භාවය ඉහල දමාගැනීමෙන් මිස; අනෙකාගේ අවස්ථාව වැළකීමෙන් නොවෙන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, ගුණාත්මක භාවය ඉහල දැමීම වැලක්වීමට කළහැකි සියලු අශීලාචාර බාධා කිරීම් ද මානසික බිඳ වැට්ටවීම්ද කරමින් ගුණාත්මක භාවය ගැන කතා කිරීම විහිළුවකි. අපේ රටේ අධ්‍යාපනය ලැබීමට අපව විශ්වාස කර පැමිණි දේශීය හෝ විදේශීය සිසුන් ලෙස ඔවුනට සලකමින්, රටේ මිනිසුන්ට ද හානිකර නොවෙන ලෙස පුරවැසියන්ගේ ආරක්ෂාව ද සලකා බලමින් සායනික පුහුණු වැනි පහසුකම් සැලසීම යුතුකමකි. සරල උදාහරණයක් ලෙස මේ සිසුන් රෝගීන් සමග සම්බන්ධ වීම වඩා තදින් අධීක්ෂණය කිරීමට දැනට වඩා වැඩි පුහුණු වෛද්‍යවරුන් සංක්‍යාවක් යෙදවීමට වේ නම්, ඒ සඳහා අවශ්‍ය පමණට සිසුන්ගෙන් මුදල් අයකරගනිමින් එසේ කල හැකිය.

සියලුම ක්ෂේස්ත්‍ර වල උපාධි සලකන විට, මට පෙනෙන්නේ මුදල් ගෙවා ඉගෙන ගන්නට තිබෙන විශ්වවිද්යාල සහ නොමිලේ ඉගෙගන ගතහැකි විශ්විද්‍යාල එකිනෙකට උදවු කරගනිමින් දැනට තිබෙන සීමාවන් පරදා ඉදිරියට යා හැකි බවයි. රාජ්‍ය-පුද්ගලික-සහයෝගීතාවයක් මෙහිදී වඩා සුදුසු වේ. උදාහරණයක් ලෙස, මුදල් ගෙවා ඉගෙන ගන්නට එන සමහර සිසුන් තුල ඇති ඉහල ඉංග්‍රීසි දැනුම, ඉහල පරිඝණක තාක්ෂණ දැනුම, සමාගම් සමග ඇති පුද්ගලික සම්බන්ධතා මගින් පර්යේෂණ අරමුදල් ලබාගැනීමට ඇති හැකියාව වැනි දේ; ඉහලින් උසස්පෙළ සමත් වූ නොමිලේ ඉගෙන ගන්නා සිසුවාගේ ඉහල පරිකල්පන ශක්තිය, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, ඉහල නිර්මාණශීලීත්වය සමග එකට මුසු කර; අද රටේ සමාගම් ඉල්ලා සිටින නව පර්යේෂණ කරමින්, පේටන්ට් කරමින් අපට අවශ්‍ය දැනුම අපටම නිර්මාණය කරගත හැකිය. 

නමුත් අවාසනාව නම් දැනට මේ දෙපිරිස ගැටෙමින්, දෙපිරිසම රටේ අවශ්‍යතාවය නොවෙන නිෂ්ඵල ලෙස ශ්‍රමය වගුරුවයි.


3. උසස්පෙළ ඉහලින් සමත් නොවී වෛද්‍ය වෘත්තියට පිවිසෙන සයිටම් උපාධිදාරීන් අතින් රෝගී ප්‍රතිකාර වලදී බොහෝ වැරදි සිදු විය හැකි බවට වන සැකය.

ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.

SLMC මගින් දැනට එවැනි ක්‍රමවෙධයක් ක්‍රියාත්මක නොවෙන බව තමයි ආරංචි වෙන්නේ. 

සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ.

මෙය රාජ්‍ය, පුද්ගලික, විදේශ උපාධිදාරී සියලු වෛද්‍ය වරුන්ට පොදුව, ජ්‍යාත්‍යන්තර මට්ටමේ පවා සද්භාවයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රමවෙධයක් නිසා අධිකරණය වෙත ගිහින් හෝ මුලික අයිතිවාසිකම් කඩවෙන බව කියා ඉන් වසන් වෙන්නට සයිටම් වෛද්‍ය උපධිදාරීනට හැකියාවක් ලැබෙන්නේ නෑ.

දැන් සයිටම් උපාධිදාරීන් ලියාපදිංචි කරගන්නා ලෙස අධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා, SLMC රෝගීන් ගේ ආරක්ෂාව ගැන විද්‍යාත්මකව සිතනවා නම් ඔවුන් මුලින්ම කල යුත්තේ ඉක්මනින් මෙවැනි ක්‍රමවෙධයක් සකසා නැවත නැවත අත්වැරදී සිදුකරමින් රෝගී ජීවිත අනතුරේ හෙලන එවැනි වෛද්‍ය උපාධිදාරීන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අත්හිටුවන ක්‍රමවෙධය සකසා රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

එහෙම නැතුව  මගේ මිනිය උඩින් යන්නයි කියමින් උසාවි නියෝගයට විරුද්ධව වහසි බස් දෙඩීම හෝ වර්ජන තර්ජන කරමින් රෝගීන්ගේ ආරක්ෂාව නැත්තටම නැති කිරීම නොවෙයි. 

දේශපාලකයින් පමණක් නොව උගතුන් පවා සමහර තීරණ වලදී අවිද්‍යාව මත පදනම් වෙන සමාජයක; විද්‍යාත්මක තාර්කික ක්‍රමවෙධයන්ට ඉඩක් ඇති නොවී යට යාම සාමාන්යෙන් වෙන දෙයක්. 


මේ ගැන මම නොදන්නා, මම නොදකින බොහෝ දේ තිබෙන බව පිළිගන්න අතර එවැනි අදහස් වලට මේ ලියවිල්ල ඉතා කැමැත්තෙන් විවෘත්ත කර තිබෙනවා.