Saturday, April 29, 2017

සොබා දහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ

සැමවිටම කියවන්නට පලක් ඇති දෙයක් ලියු නිෂ්පල දේ කිසිවිට නොලියු, අසමින් දකිමින් සොයමින් විචාර කල එතුමාට මගේ අවසන් ගෞරවය. ඔහුගේ අවසාන ලිපියෙන් පවා ඔහු අවිද්‍යාව වෙනුවට විද්‍යාව ප්‍රචලිත කිරීම ගැන දීර්ඝ පැහැදිලි සටහනක් තබා තිබුනා.

ඉතා අතීතයේදී බ්ලොග් කියවූ මුල් අවස්ථාවේ ඔබ්සවර් (ඔබා මාමා) ගේ නික්යාමද (ඉලන්දාරියා වැනි නමක් තිබු) තවත් තරුණයෙකුගේ නික්ම යාමද දැක තිබු නමුත්, සක්‍රියව බ්ලොග් ලිවීමට සම්බන්ධ වූ පසු මා දුටු පළමු අවසන් නික්ම යාම විචාරක මහතාගේ නික්මයාමයි. බ්ලොග් අවකාශයේ කිසිවෙකු සමග පුද්ගලික සම්බන්ධතා නොමැති නමුත් මෙයින් මා පත්වූ කම්පනය නිසා නිහඬවම සිටීමට නොහැකි බැවින් නැවත පැමිණ මේ සටහන තැබුවේ.

අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො

ස්වභාව ධර්මයේ නිරමාණයන් වන අපි ඉක්මනින් හෝ පසුව හෝ ඊට අවනත වන්නට බැදී සිටිමු. 

අසමින් දකිමින් සොයමින් විචාර කල එතුමාට මගේ අවසන් ගෞරවය මෙන්ම එතුමාට සමුදීම මෙයින් ප්‍රකාශ කරමි.

Thursday, March 23, 2017

සමාප්තියේ සටහන

සංක්ෂිප්ත අවසානය.




බ්ලොග් යනු සංස්කාරකවරයෙකු පාලන නොකරන මාධ්‍යයකි. එහෙයින්, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ආතර් සී ක්ලක් මහතා කියුවා මෙන්ම; මමද ලියුවේ මම දකිනා දේ අතුරින් මට කීමට ඇවැසි දේ අතුරින් සමාජයට පැවසීමට යහපත් යයි සිතෙනා දේ පමණක් බව කීමට සතුටුයි. අද ලියවිලිත් ඒ පදනම මතයි ලියා තිබෙන්නේ. 

ජව සම්පන්න ආරම්භය ගමනකට වැදගත්. ආරම්භයේදීම අපේ බලය ශක්තිය හොඳින්ම පෙන්වීම ආකල්පමය වශයෙන් ඉතා හොඳ වෙන අවස්ථා වැඩියි. එමෙන්ම අවසානයද නොසලකා හැරිය යුතු නැත.

සේප්පකු ක්‍රමයට මරණ දඬුවමට මුහුණ දුන් "හම්පෙයිද" වැනි සමුරායි වරුන් තම මරණය සඳහා උදරය කපා ගැනීමේදී පවා අභිමානය පෙන්වීමට ඉතා අලංකාරම අපහසුම කැපුම් ක්‍රමය අනුගමනය කල බව කියවෙනවා. අවසානය නොසලකා හැරීම නුසුදුසුයි. සිංහල බ්ලොග් ලිවීමේදී ඇති අත්දැකීම් කෙටිකාලීන වුවත් සිංහල බ්ලොග් කියවීමේදී ඇති කඩින් කඩ දීර්ඝ අත්දැකීම් අනුව ජවසම්පන්න අවසානයන් තිබුනේ සුළු වශයෙන්. එහෙයින්, සැලසුම් කල දේ සියල්ල ලියන්නට නොහැකි වුනත් අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට ගෙන ආ සංවාදය ආරම්භ කල ජවයෙන්ම මෙසේ අවසාන කරන්නට මම  කැමතියි.

බටහිර විද්‍යාව යනු පරම සත්‍යය නොවෙන අතර එය යම් කිසි සීමා සහිත පරාසයක් තුල සීමාව දැනගෙන භාවිත කල යුතු දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාත්මක දැනුම අනුව මෙම මොඩලයන් වලංගු වුවද හෙට දිනයේ ඒවා අවලංගු වී යා හැකිය. නමුත්, එතෙක් මෙම මොඩලයන්ගෙන් වැඩ ගත හැකි බව මගේ අදහසයි. බටහිර විද්‍යාව යනු ස්ව්භාවධාරාමය තේරුම් ගැනීම පිණිස ගොඩනැගු සීමා සහිත මොඩලයක් මිස ස්වභාවධර්මය පාලනය කළහැකි උපකරණයක් නොවේ. ඊට උත්සහ කිරීම නිෂ්පල හෝ ඊටත් වඩා හානිදායක විය හැකිය.

අවසානයන් නොමැතිව ආරම්භයන් නොපැවතිය හැකි අතර; ආරම්භයන් නොමැතිව අවසානයන් පවතින්නේ ද නැත. 





Wednesday, March 22, 2017

බ්ලොග් පිටුව වසා දැමීම

මෙතෙක් දිරිමත් කල කොමෙන්ට් මගින් සංවාද ඇතිකළ "ගස් ලබ්බ" "සඳ වියමන්" බ්ලොග් කරුවන ඇතුළු සියලු දෙනාට ස්තුතියි.

පසුගිය වසරේදී තාක්ෂණය පිලිබන්ධ ලිපි කිහිපයක් ලියා ඇති අතර ඒවා කිසිදු හිමිකම් ඇවිරීමකින් තොරව පවතී.

ශ්‍රී ලංකාව තුල විද්‍යාව ප්‍රචලිත කිරීම ද රජයේ ඇකඩීමියානු මාෆියාවන්ට අරක්ගත් උදවියටම කරගෙන යාමට ඉඩදී පැත්තකට වීම සුදුසු බව මට සිතේ. එහෙයින් බ්ලොග් පිටුව මෙතනින් වසා දමමි.




Wednesday, March 15, 2017

පශ්චාත් උපාධි කඩ ද ? පශ්චාත් උපාධි සමුපකාර ද ?

ප්‍රගතිශීලින් යයි කියා ගන්න අය විශ්වවිද්‍යාල යනුවෙන් හදුන්වන්නේ නොමිලේ ඉගෙනගෙන උපාධිය ලබාගතහැකි ආයතන පමණි.  මුදල් ගෙවා ඉගෙන ගෙන  උපාධි ලබාගත හැකි ස්ථාන ඔවුන් හදුන්වන්නේ උපාධි කඩ යනුවෙනි. එතැන් වල උපාධි මුදලට විකුණන බව ඔවුන් කියති.




එමෙන්ම රාජ්‍ය විශ්විද්‍යාල වල මුදල් ගෙවා පශ්චාත් උපාධි හැදෑරිය හැකි ආයතන ද මේ බුද්ධිමත් ප්‍රගතිශීලීන්ගේ න්‍යායට අනුව පශ්චාත් උපාධි කඩ වෙනු ඇත. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුලික උපාධි ලබාදෙන අතර; පේරාදෙණිය Postgraduate Institute of Science (PGIS), Postgraduate Institute of Agriculture (PGIA) පශ්චාත් උපාධි කඩ පශ්චාත් උපාධිය මුදලට විකුණයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුලික උපාධි ලබාදෙන අතර ශ්‍රී ජයවර්ධනපුර Postgraduate Institute of Management  (PIM) පශ්චාත් උපාධි කඩය මුදලට උපාධි විකුණයි. කොළඹ විශ්වවිද්‍යාලය ද උපාධි ලබාදෙන අතර එය පශ්චාත් උපාධි මුදලට විකුණන කඩයකි. මම එහි සිටි නිසා, පශ්චාත් උපාධි කඩයේ අදායමෙන් විශ්විද්‍යාලයේ මුලික උපාධි සිසුන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සැපයෙන බව දනිමි. මෙසේ බැලු කල රජයේ බොහෝ විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන නමුත් ඒවා පශ්චාත් උපාධි මුදලට විකුණන පශ්චාත් උපාධි කඩවල් වේ. ඊනියා ප්‍රගතිශීලීන්ට මේ ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි ලබාගත් සියලුම දෙනා පාහේ පශ්චාත් උපාධි මුදලට ගත් ධනපතියන් ලෙස පෙනුනද පුදුම වීමට කරුණක් නොවේ. ඒ ඔවුන්ගේ දැක්මේ ප්‍රමාණයයි.    

කොළඹ විශ්විද්‍යාලය වෛද්‍ය උපාධිය ලබාදෙන විශ්වවිද්‍යාලයක් මෙන්ම එහි Postgraduate Institute of Medicine (PGIM) වෛද්‍ය පශ්චාත් උපාධි විකුණන වෙද පසු-උපාධි කඩයක ලෙස මොවුන් හැදින්විය හැකිය.


කඩ බොහෝ විට පුද්ගලික අංශයට අයිති වේ. මෙනිසා පුද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩ ලෙස ඔවුන් හදුන්වනවා යයි මම සිතමි. එත් ඔවුන් IESL, KDU, NSBM, IChem වැනි මුදල් ගෙවා ඉගෙනගෙන උපාධි හෝ උපාධි සම සුදුසුකම් ලබාගතහැකි රාජ්‍ය අනුබද්ධ/ස්වාධීන ආයතන උපාධි කඩ ලෙසින් හැදින්වීම නොගැලපීමක් ලෙස මට පෙනේ. සමහර ඒවාගේ අයිතිය රජයට එනම් අපටද ඇති නිසා ඒවා ඔවුන්ගේ න්‍යායට අනුව "උපාධි සමුපකාර" ලෙස හැදින්විය හැකිද යන්න මට සිතේ. පශ්චාත් උපාධි කඩද ? පශ්චාත් උපාධි සමුපකාරද ?

පසු සටහන.
අද දිවයින පුවත්වතේ තිබෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල මුලික උපාධි සිසුන් ගේ පුරප්පාඩු 1700 ට අධික ප්‍රමාණයක් තිබෙන බවයි. පහත වාක්‍ය කිහිපය දිවයින පුවත්පතෙන් උපුටා දක්වමි. "මේ අතරින් වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක්‌ පවතින්නේ විද්‍යා සහ කෘෂි විද්‍යා පීඨවලය. රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පුරප්පාඩු 158 ක්‌ ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 100 කට අධිකය. කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පුරප්පාඩු 90 ක්‌ පමණ ඇත. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා විශාල පිරිසක්‌ බලා සිටියදීත් ඒ ඒ පීඨවල පවතින මෙම පුරප්පාඩු නොපිරවීම අපරාධයක්‌ යෑයි මහාචාර්යවරු පෙන්වා දෙති." මගේ අදහස අනුව නම් මේ මහා ඉහිලිය නොහැකි අපරාධයකි.

නිදහස් අධ්‍යාපනය ගැන කතාකරන සියල්ල දත් මහතුන්ට මේ ලැබුන නිදහස් අධ්‍යාපන අවස්ථා 1700 පහසුවෙන්ම සුරක්ෂිත කිරීමට වැඩකිරීමට කාලයක් නොමැත. ඒ ඔවුන්ට තිබෙන පුද්ගලික විශ්වවිද්‍යාල වැසීමේ උතුම් ජීවිත පරිත්‍යාගයෙන් බාරගත් කොන්තරාත්තුවෙන් ඔවුන් බොහෝ කාර්යබහුල වී ඇති බැවිනි. 

Monday, March 6, 2017

ගැහැණුන්ට බලෙන් උපත් පාලනය කරවන අපේ රජයේ රෝහලක වෛද්‍යවරු

වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් වර්ජනය කල දින ෆේස්බුක් හි පවත් අදහසක් මට මතක තිබේ. යම් අයෙකු උපහාසයෙන් කියා තිබුනේ "හෙට අනිද්දා වන විට වෛද්‍යවරුන්ට හැරෙන්නට වෙනත් අයට දරුවන් ලැබීමටද වෛද්‍යවරුන් ඉඩ නොදේවි" යන බවයි. එය එදා උපහාසයෙන් කියා තිබුනද අද විට නම් එය සත්‍ය විය හැකි මානයට පැමිණ තිබේ.

දඹුලු රෝහලේ දරුවන් බිහි කරන මවුවරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන ලුපයක් හෝ උපත් පාලන ඖෂධ අඩංගු උපකරණයක් හෝ ශරීරයට ඇතුලත් කර නොගෙන එම මවුවරුන්ට රෝහලෙන් පිටව යාමට ඉඩ ලබානොදීම මේ වන විට සිදුවී තිබේ. එසේ කිරීමට කිසිදු වෛද්‍යවරයෙකුට/වරියකට අයිතියක් නැති අතර ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වෙසෙන රටක් නම් මේ ය මේ වන විට සිටිය යුත්තේ බන්ධනාගරයෙයි.

ජනගහන පාලනයට අවශ්‍ය විද්‍යාත්මක නීති සැකසිය යුත්තේ ඒ සඳහා දැනුම ඇති විද්වතුන් සහ මහජන සහභාගීත්වයෙන් මිස ම්ලේච්ච ක්‍රම වලට නොවේ.

"වෛද්‍යවරුන්/වරියන් නොවෙන අයට ලිංගිකව එක්වීම අනවශ්‍ය බව කියමින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට chemical castration ඖෂධ බලෙන් ශරීරගත කරනු ඇතැයි" අද කෙනෙකු කිවහොත් එය හොඳ විහිළුවකි. නමුත්, මේ සිදුවන් ලෙස නම් හෙට දිනයේදී  එයටද යම් සත්‍යතාවයක් නොලැබේ යයි කිව හැකි නොවේ.

වෛද්‍යවරු නොවෙන අප ඔවුන්ගේ වැරදි සොයමින් ද්වේශයන් ඔවුන් හෑල්ලු කරන බව මේවා ගැන කතා කරනවිට නැගෙන චෝදනාවකි. නමුත්, මට සිතෙන්නේ නම් වෛද්‍යවරු සමග ද්වේශයන් ඔවුන් හෑල්ලු කිරීමට අවශ්‍ය වෛද්‍ය සභාවට සහ වෛද්‍ය සංගම් වලට බවයි. එසේ නොවේ නම්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් යනු ශිෂ්ඨ මිනිසුන්ගේ ගැහැණුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමට නොදන්නා ගෝත්‍රිකයන් බවට ලෝකයා හමුවේ අපේ වෛද්‍යවරුන් හෑල්ලු වෙනතෙක් උකටලීව බලාසිටින්නේ ඇයිදැයි මට නොතේරේ. 

සමහර වෛද්‍යවරුන්ගේ මෙවැනි නීච අශීලාචාර ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ වෛද්‍යවරුන්ගේ ගරුත්වය රැකගැනීමට කටයුතු නොකර, මිනිසුන් වෛද්‍යවරුන් යන වචනය ඇසෙන විටද  කෙල ගසන දිනය පැමිණෙන තෙක් මෙසේ උකටලීව බලාසිටින ශ්‍රීලංකා වෛද්‍ය සභාවට අපේ වෛද්‍යවරුන් සමග සමග කොයිතරම් ක්‍රෝධයෙන් නම් තිබියයුතුද ?

Tuesday, February 28, 2017

යන්න !! ගිහින් ඇලිස්ගෙන්ම අහගන්න !!



මේ ඇලිස් යනු පුද්ගලයෙක් නෙවෙයි. ඇමෙරිකාවේ කොලොම්බියා විශ්විද්‍යාලයේ ස්වෙච්ඡා පුද්ගලයන් කණ්ඩායමක්.  ඒ අය අතර සෞඛ්‍ය පිළිබද විශේෂඥයන් සහ වෛද්‍යවරුන් සිටිනවා. ඇලිස්ගේ භාෂාව ඉංග්‍රීසි.



සෞඛ්‍ය සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්න, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ප්‍රශ්න , මධ්‍යසාර සහ මත්ද්‍රවය ගැන ප්‍රශ්න, පෝෂණය සහ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න, මානසික සෞඛ්‍ය ගැන වැනි ප්‍රශ්න ඇලිස්ගෙන් අහන්න පුළුවන්.

ඇලිස් කලින් එවැනි ප්‍රශ්න වලට දීපු පිළිතුරු  වල ඒ කරුණු අඩංගු වෙන්නේ නැති නම් තමයි ඇලිස් අලුතින් පිළිතුරු සපයන්නේ.

ඇලිස්ගෙන් අහල බලන්න.    

Monday, February 27, 2017

ජපන් මැන්ඩලින් සහ ඔකිනාවා-ජපන් ගීත

කලින් පොස්ට් එකේ කොමෙට් වලින් ඇතිවුන පොඩි කතාව ඇතුලේ ජපන් මැන්ඩලින් ගැනත් කියවුනා. "ජපන් ඇනෝ" මිත්‍රයා කියල තිබුන ජපන් මැන්ඩලින් එකේ ජපන් නම් "තයිශෝ ගොතෝ" බව. ඔහු එවපු ලින්ක් බලනවිට දැකපු ජපන් සංගීත වීඩියෝ හරිම අපූරුයි.

ජපානය කියන්නේ ලෝකයේ තිබෙන ඉහලම දියුණුවකින් යුතු රටක් වගේම ඉතා අනන්‍ය පෙරදිග සංස්කෘතියකුත් තවම ඔවුන් අතරේ තරමක් දුරට හෝ රැකිලා තිබෙනවා.

ජපන් සංගීතය ගැන උනන්දු අයට ඒ ගැන සොයා බැලීමට උත්ප්‍රේරකයක්  විදියට පහල වීඩියෝ කිහිපය අමුණනවා.


හදවත පාරන ශෝකී ස්වරයකුයි මේ "තයිශෝ ගොතෝ" වාදනයේ මට ඇසෙන්නේ.



මේ සන්ෂින් (三線) වයමින් ගයන ඔකිනාවා ගායිකාව ජපන් භාෂාව නොතේරෙන කෙනෙකුගේ වුනත් හදවතට ආමන්ත්‍රණය කරන බවයි මට හිතෙන්නේ. ඔකිනාවා හි නිල පුෂ්පය වන "දෙයිගෝ" මල් ගැනත් මේ ගීතයේ කියවෙනවා. 




මේ "තයිශෝ ගොතෝ" වාදනයේ හින්දි ගීත වාදනයකට සමාන බවක් දැනෙනවා.




මේ ඔකිනාවා ගීතයත් ඉතා කන්කළු බවයි මම හිතන්නේ.





සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ශ්‍රී ලංකාවේ සංගීතය සහ ජපන් සංගීතයේ සමානකම් තිබෙනවාද කියා ඔබට හිතෙනවද ?

Saturday, February 25, 2017

අරුන් මෝලිගේ ITN මැජික් සහ Nitinol Alloy

මේ දවස් වල ITN එකේ ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන කඩවසම් මැජික් කරුවෙක් තමයි අරුන් මෝලි ලෙස කියවෙන්නේ. අලංකාර විදියට ජැපනීස් මැන්ඩලීන් එක වාදනය කරන තරුණියත් ඉතාම දක්ෂයි. තවත් එවැනි දක්ෂයෝ හිටියා. තරුණ අයට එවැනි අවස්ථා ලැබීම ඉතා හොඳ දෙයක්. අරුන්ගේ අපූරු ඉදිරපත් කිරීම අගය කරන ගමන් එහි ඔහු යොදාගතිපු කම්බි වර්ගය යයි මම අනුමාන කරන නිටිනොල් (Nitinol) ගැන තමයි මේ කෙටියෙන් ලියන්නේ.



Nitinol කියන්නේ Nickel සහ Titanium අඩංගු ඇලෝයි  එකක්. රත් කරලා බලයක් යොදා හැඩගස්වලා වතුරේ ඔබල නිව්වට පස්සේ ඒ හැඩය මතක තබා ගන්න (Shape Memory Effect) නිටිනොල් වලට පුළුවන්. පසුව හැඩය වෙනස් කරලා නැවත රත් කරනවිට අර හදපු මුල් හැඩයට නැවත පත් වෙනවා.






නිටෝනොල් වල යෙදීම් ගොඩක් විද්‍යාවේ පර්යේෂණ වල සිදු වෙනවා. කෘතීම පේශි සහ නිටිනොල් තාප එන්ජිම ඒවගෙන් කීපයක්. ගැන අදටත් ලෝකේ පර්යේෂණ සිදු වෙනවා. නමුත් නිටිනොල් කියන්නේ ඉතා මිලඅධික මිශ්‍ර ලෝහයක්.




මැජික් යෂ්ටියක් වගේ අපූරු දේවල් කරන්න පුළුවන් මැටීරියල් සයන්ස් වලට අපේ ලංකාවේ තවම තිබෙන්නේ තරමක අඩු සැලකිල්ලක්.

නිටිනොල් වල Shape Memory Effect එන Chemistry/Physics  ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. :D


Monday, February 6, 2017

SAITM – සියල්ල එකට පැටලවීම වෙනුවට ටිකක් ලිහාගැනීමට



මින් පෙරද වෙනත් බ්ලොග්වල අදහස් දැක්වීමේදී මේ ගැන ලිවීමට යෝජනාවක් ලැබුන නමුත් එයින් වැලකී සිටියේ මිනිසුන් අතරට හැකි පමණින් විද්‍යාව ගෙනයාමේ මගේ උත්සාහයට ඉන් ඇතිවිය හැකි බාධාවන් සැලකීමෙනි. එහෙත් මනුෂ්‍යයෙකුගේ ජීවන හැඩය තීරණය කරන, කෙනෙකුට උපයා ගත හැකි වටිනාම වස්තුව වන දැනුම උපයා ගැනීම වැළකීමේ අශීලාචාර රැල්ලක් අපේ  රටේ ඇතිවන විට ඒ ගැන හැකිපමනින්, තේරුම් ගත හැකි ප්‍රමාණයට අනුව හරියයි සිතනා කරුණු ලියා තැබීමට මටද වගකීමක් තිබේ.

රජයේ විශ්විද්‍යාල, අර්ධ රාජ්‍ය විශ්විද්‍යාල, හා පුද්ගලික අංශයේ විශ්විද්‍යාල වල මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී ද, මහජන මුදලින් ඉගෙන ගන්නා සිසුන්ගේ ධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී පවත්වා ගන්න ගුණාත්මක භාවයම තිබිය යුතු බවට එකඟ නොවෙන අය එතරම් සිටීදැයි සැක සහිතය. බොහෝ දෙනෙකු ඊට එකඟය. නමුත්, විශ්විද්යාලයකට ඇතුලත් වීමට අවශ්‍ය මුලික සුදුසුකම ලැබූ අයට, තමුන් කැමති ක්ෂේස්ත්‍රයකින් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කිරීමට ඇති අයිතිය අහෝසි කිරීමට මම තරයේ විරුද්ධ වෙමි. උත්සාහය අවසානයේ, තිබියයුතු අවම මට්ටමට ඔවුනට පැමිණීමට නොහැකි නම් ඕනෑම කෙනෙකු අසමත් කර එතනින් ඉවත් කිරීම සාධාරණ වුවද, තම වියදමින් එය උත්සාහ කර බැලීමට ඉඩ නොතබා එලවා දැමීම අශීලාචාර ක්‍රියාවකි. නමුත් දැන් සිදුවන්නේ උත්සාහ කිරීමට ඉඩ නොදී එලවා ගැනීමේ එම අශීලාචාර ක්‍රියාවයි.

මුදල් ගෙවා අධ්‍යාපනය ගැනීමට කරන උත්සාහයට විරුද්ධ වන සමහර සමාජවාදීන් මෙහිදී  යෝජනා කරන්නේ සියල්ලන්ට අධ්‍යාපනය නොමිලේ දිය යුතු බවයි. තවත් තැනකදී, ඔවුන් කියන්නේ මුදල් අය කර උගන්වන විශ්විද්‍යාල මගින් ඉහල වැටුප් වලට හොඳම මහාචාර්ය වරුන් ඇදගනු ඇති බවයි. මෙයම විසංගතතාවයකි (discrepancy). මහාචාර්ය වරුන් රඳවා ගැනීමට ඉහල වැටුප් ගෙවීමටවත් මුදල් නොමැති බව පිළිගන්නා අතරම ඒ වෙනුවට සියල්ලන්ටම නොමිලේ රජයෙන් අධ්‍යාපනය දිය යුතු බව කියනවා නම් ඔවුන් සිටින්නේ සිහියෙන් දැයි සැක සහිතය. 

මේ කතාව සයිටම් සමග බැදී තිබෙන බැවින් ඒ සමගින් අරඹමු.

සයිටම් ගැන කතාවේ ඉදිරිපත් කෙරෙන ප්‍රධාන සංකීර්ණ ගැටළු 3 ක් මට පෙනේ මේ තුනම එකට පටලවා චක්‍රයක් සේ විටින් විට කියවීම බහුලව සිදුවේ. ඔවුන් විසින්ම ඇති කරමු ලැබූ සංකීරණ පැටලවීම පෙන්වා එය විසඳීමෙන් තොරව අත්හැරිය යුතු බව ඔවුන් ගේ තර්කය විය හැකිය. නමුත් ගැටළු විසඳීමේ විද්‍යාත්මක ක්‍රමය නම් පෙනෙන ප්‍රධාන ගැටළු එකින් එක විසඳමින් ඉදිරියට ගොස් සාර්ථක අවසානයකට යාමයි. මම තරුණ විද්‍යාඥයෙක් මි. මම උත්සාහ කරන්නේ මට පෙනෙන විද්‍යාත්මක විසඳුමක් ලියා තැබීමටයි. මම කරුණු එකින් එක සලකමි.


1. ඇතුලත් කර ගැනීමේදී ඇති අසමානතාවය.

මුදල් ඇති අය දොස්තර වෙද්දී මුදල් නැති අය කොන්දොස්තර වෙනවා යයි මෙහිදී කතාවට එයි.

මුදල්, බලය, පුද්ගලික සම්බන්ධතා මත පදනම් වූ අසමානත්වය නැති තැනක් මිහිපිට නොපවතී. අඩුම තරමේ පුජ්‍ය පක්ෂයට ඇතුළුවීම වත් ඉන් මිදී නැත. ලෝකයේ නොපවතින සර්ව සාධාරණ සමාජයක් ගැන උපකල්පනය කල හැක්කේ පරිපූරණ සමාජවාදයෙදී පමණි. එහෙත්, උපකල්පිත පරිපූරණ සමාජවාදයෙදී දොස්තරද කොන්දොස්තරද සම තත්වයේ ජීවන ප්‍රතිලාභ ලබන බැවින්, දොස්තර-කොන්දොස්තර වීම යන ගැටලුව සම්පූර්නයෙන්ම පාහේ අහෝසී වී යනු ඇතැයි මම උපකල්පනය කරමි.

මේ මොහොතේ මේ පෘතුවියේ කොතැනක හෝ නොමැති තත්වයක්, අනන්ත අප්‍රමාන ගැටළු ඇති ණය බරින් හෙම්බත් වුන  දියුණු වෙමින් පවතින රටක ඇතිකිරීමට බලාපොරත්තු වෙමින් සිටීමේ ඵලදායක බව කියවන ඔබට සිතිය හැකිය. 

ඒ අතරම විදේශගත වී මුදල්ගෙවා ඉගෙන ගෙන උපාධි ගැනීම කිසිවෙකුට නතර කල නොහැකිය. GMOA පවා මෙහිදී පවසන්නේ වෛද්‍ය උපාධිය හැරෙන්නට මුදල් ගෙවා ඉගෙන ගන්නා අනෙකුත් උපාධි පාඨමාල වලට ඔවුන් විරුද්ධ නැති බවයි.

2. විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය.

විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය ඉතා හොඳින්, නොමිලේ අධ්‍යාපනය ලබන අයටත් වඩා නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කරමින් නියාමනය කල යුතුය. ඒ වියදම් මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් විසින්ම දැරිය යුතුය. නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක්කළ යුත්තේ ඔවුන්ගේ තත්වය ඔවුනට වඩා දක්ෂ නොමිලේ අධ්‍යාපනය ලබන අයගේ තත්වය දක්වා ඉහල දැමීමටයි. අවසානයේ මුදල් ගෙවා ඉගෙන ගන්න අයද, නොමිලේ ඉගෙන ගත් අයගේ තත්වයට පැමිණ රටේ මෙන්ම ලෝකයේ ඉදිරි ගමනට එකිනෙකා පරයන සේ දායක වීමේ හැකියා ලබන තෙක් වැඩි අවධානයකින් යුතුව නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කල යුතුය. ආසියාවේ දියුණුතම රටක් වන ජපානයේ පුද්ගලික විශ්වවිද්‍යාල වල අය කිරීම රජයේ විශ්විද්යාලව අයකිරීම මෙන් දෙගුණයකි. එසේ වන්නේ රටේ දියුණුවට අවශ්‍ය වන ලෙස ඔවුන් සකස් කිරීමට අවශ්‍ය වන ඉහත කී ඇගයීම් හා පුහුණු කිරීම් සඳහා වැය වන සම්පත් ප්‍රමාණය වඩාත් අධික වීම නිසයි.

ස්වභාවික සම්පත් වෙනුවට ස්වභාවික අනතුරු උරුම ජපානය ආසියාවේ දියුණුතම බලවත් රටක් බවට පත්වන්නේ එසේ දියුණු කරන ලද මානව සම්පත මත පමණක් යැපීමෙනි. පිරිසිදු කිරීමේ සේවා වල පවා උපාධිදාරීන් සිටින ජපානය ලෝකයේ පිරිසිදුම ක්‍රමවත්ම රටකි. මානව සම්පත දියුණු කිරීමේ ප්‍රතිලාභ ඉතා ඉහල බව පෙනේ. අපේ තරඟකාරී අවස්ථා සුරක්ෂිත කරගත යුත්තේ කැපවීමෙන් තමන්ගේ ගුණාත්මක භාවය ඉහල දමාගැනීමෙන් මිස; අනෙකාගේ අවස්ථාව වැළකීමෙන් නොවෙන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, ගුණාත්මක භාවය ඉහල දැමීම වැලක්වීමට කළහැකි සියලු අශීලාචාර බාධා කිරීම් ද මානසික බිඳ වැට්ටවීම්ද කරමින් ගුණාත්මක භාවය ගැන කතා කිරීම විහිළුවකි. අපේ රටේ අධ්‍යාපනය ලැබීමට අපව විශ්වාස කර පැමිණි දේශීය හෝ විදේශීය සිසුන් ලෙස ඔවුනට සලකමින්, රටේ මිනිසුන්ට ද හානිකර නොවෙන ලෙස පුරවැසියන්ගේ ආරක්ෂාව ද සලකා බලමින් සායනික පුහුණු වැනි පහසුකම් සැලසීම යුතුකමකි. සරල උදාහරණයක් ලෙස මේ සිසුන් රෝගීන් සමග සම්බන්ධ වීම වඩා තදින් අධීක්ෂණය කිරීමට දැනට වඩා වැඩි පුහුණු වෛද්‍යවරුන් සංක්‍යාවක් යෙදවීමට වේ නම්, ඒ සඳහා අවශ්‍ය පමණට සිසුන්ගෙන් මුදල් අයකරගනිමින් එසේ කල හැකිය.

සියලුම ක්ෂේස්ත්‍ර වල උපාධි සලකන විට, මට පෙනෙන්නේ මුදල් ගෙවා ඉගෙන ගන්නට තිබෙන විශ්වවිද්යාල සහ නොමිලේ ඉගෙගන ගතහැකි විශ්විද්‍යාල එකිනෙකට උදවු කරගනිමින් දැනට තිබෙන සීමාවන් පරදා ඉදිරියට යා හැකි බවයි. රාජ්‍ය-පුද්ගලික-සහයෝගීතාවයක් මෙහිදී වඩා සුදුසු වේ. උදාහරණයක් ලෙස, මුදල් ගෙවා ඉගෙන ගන්නට එන සමහර සිසුන් තුල ඇති ඉහල ඉංග්‍රීසි දැනුම, ඉහල පරිඝණක තාක්ෂණ දැනුම, සමාගම් සමග ඇති පුද්ගලික සම්බන්ධතා මගින් පර්යේෂණ අරමුදල් ලබාගැනීමට ඇති හැකියාව වැනි දේ; ඉහලින් උසස්පෙළ සමත් වූ නොමිලේ ඉගෙන ගන්නා සිසුවාගේ ඉහල පරිකල්පන ශක්තිය, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, ඉහල නිර්මාණශීලීත්වය සමග එකට මුසු කර; අද රටේ සමාගම් ඉල්ලා සිටින නව පර්යේෂණ කරමින්, පේටන්ට් කරමින් අපට අවශ්‍ය දැනුම අපටම නිර්මාණය කරගත හැකිය. 

නමුත් අවාසනාව නම් දැනට මේ දෙපිරිස ගැටෙමින්, දෙපිරිසම රටේ අවශ්‍යතාවය නොවෙන නිෂ්ඵල ලෙස ශ්‍රමය වගුරුවයි.


3. උසස්පෙළ ඉහලින් සමත් නොවී වෛද්‍ය වෘත්තියට පිවිසෙන සයිටම් උපාධිදාරීන් අතින් රෝගී ප්‍රතිකාර වලදී බොහෝ වැරදි සිදු විය හැකි බවට වන සැකය.

ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.

SLMC මගින් දැනට එවැනි ක්‍රමවෙධයක් ක්‍රියාත්මක නොවෙන බව තමයි ආරංචි වෙන්නේ. 

සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ.

මෙය රාජ්‍ය, පුද්ගලික, විදේශ උපාධිදාරී සියලු වෛද්‍ය වරුන්ට පොදුව, ජ්‍යාත්‍යන්තර මට්ටමේ පවා සද්භාවයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රමවෙධයක් නිසා අධිකරණය වෙත ගිහින් හෝ මුලික අයිතිවාසිකම් කඩවෙන බව කියා ඉන් වසන් වෙන්නට සයිටම් වෛද්‍ය උපධිදාරීනට හැකියාවක් ලැබෙන්නේ නෑ.

දැන් සයිටම් උපාධිදාරීන් ලියාපදිංචි කරගන්නා ලෙස අධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා, SLMC රෝගීන් ගේ ආරක්ෂාව ගැන විද්‍යාත්මකව සිතනවා නම් ඔවුන් මුලින්ම කල යුත්තේ ඉක්මනින් මෙවැනි ක්‍රමවෙධයක් සකසා නැවත නැවත අත්වැරදී සිදුකරමින් රෝගී ජීවිත අනතුරේ හෙලන එවැනි වෛද්‍ය උපාධිදාරීන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අත්හිටුවන ක්‍රමවෙධය සකසා රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

එහෙම නැතුව  මගේ මිනිය උඩින් යන්නයි කියමින් උසාවි නියෝගයට විරුද්ධව වහසි බස් දෙඩීම හෝ වර්ජන තර්ජන කරමින් රෝගීන්ගේ ආරක්ෂාව නැත්තටම නැති කිරීම නොවෙයි. 

දේශපාලකයින් පමණක් නොව උගතුන් පවා සමහර තීරණ වලදී අවිද්‍යාව මත පදනම් වෙන සමාජයක; විද්‍යාත්මක තාර්කික ක්‍රමවෙධයන්ට ඉඩක් ඇති නොවී යට යාම සාමාන්යෙන් වෙන දෙයක්. 


මේ ගැන මම නොදන්නා, මම නොදකින බොහෝ දේ තිබෙන බව පිළිගන්න අතර එවැනි අදහස් වලට මේ ලියවිල්ල ඉතා කැමැත්තෙන් විවෘත්ත කර තිබෙනවා.

Tuesday, January 31, 2017

ෆුකුෂිමා – A road to nowhere


නගර තිබුනද නගරවැසියන් නොමැත.නිවෙස් තිබුනද නිවැසියන් නොමැත. පාසල් තිබුනද ඒවා තුල සිසුන් නොමැත. සාප්පු තිබුනද ඒවා වසා ඇත. ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර තිබුන බඩු මිලදී ගැනීමට කිසිවෙකුත් නොමැත. පුළුල් මාවත් තිබුනද වාහන නොමැත. මේ තත්වයන් කෙදිනක කෙසේ වෙනස් වේදැයි හරියටම කීමට කිසිවෙකුත් නොදනී. ෆුකුෂිමා නගරය ලෝකය ඉදිරියට යන මාවතේ අතරමං වී තිබේ.




ඇතුළු වීමට මාර්ග බාධක පසුකර යායුතු අතර ආරක්‍ෂිත ස්ථර කිහිපයක විශේෂ ඇදුම් ඇඳිය යුතුය. වරෙක කාර්ය බහුලව පැවතුන, සශ්‍රීක රටක නගරක දැන් පවතින්නේ සොහොන් බිමකද නොමැති පාළු නිහැඬියාවකි. 

සියල්ල වෙනස් කලේ වසර 6කට පෙර අනපේක්ෂිත සිදුවීමකි.


දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 2.40 PM

ෆුකුෂිමා-දයි-1 බලාගාරය විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයකි. මෙය 1971 තැනීම ආරම්භ කල GE බලාගාරයකි. යුරේනියම්-235 නය්ෂ්ටික විකන්ඩනයෙන් ක්‍රියත්මක වේ. සමහර යුරේනියම්-235 පරමාණු ස්වයංසිද්ධව විඛණ්ඩනය වේ.  එහිදී එම පරමාණුවේ  න්‍යෂ්ටිය දෙකට කැඩෙමින් තවත් විශාල ශක්තියක්ද නියුට්‍රෝන 3ක් ද නිකුත් කරයි. ඒ නියුට්‍රෝන 2 තවත් යුරේනියම්-235 පරමාණු 2ක් සමග ගැටී ප්‍රතිකියාව ඉදිරියට ගෙනයයි. මෙය න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ලෙස හැදින්වේ. මේ සදහා fuel rods තුල ප්‍රශස්ත යුරේනියම්-235 ප්‍රමාණයක් තිබිය යුතුය.



න්‍යෂ්ටික බලාගාරයක්  න්‍යෂ්ටික බෝම්බයකින් වෙනස් වන්නේ ප්‍රතික්‍රියාවේ අඩු වේගය සහ පාලනය කිරීමට ඇති හැකියාව මගිනි. ප්‍රතික්‍රියාව ඉදිරියට ගෙනයන්නේ ප්‍රතික්‍රියාවේ එක් පියවරක් මගින් නිදහස් කරනා නියුට්‍රෝන තවත් යුරේනියම්-235 පරමාණුවල ගැටී මීලග පියවර දාමයක් සේ සිදුවීමෙනි. ප්‍රතිකිරියාවෙන් නිකුත් වෙන නියුට්‍රෝන බෝරෝන්-10 control rods මගින් අවශෝෂණය කරගැනීමෙන් දාම ප්‍රතිකියාව පාලනය කිරීම හෝ අවසන් කිරීම කල හැකිය. 

මේ මොහොත වන විට ෆුකුෂිමා බලාගාර දෙකෙහිම න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවන් සියල්ලම ඉතා නිවැරදි පාලනයකින් යුතුව ක්‍රියාත්මක වේ. කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.

දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 2.46 PM




යුරේසියානු භූ තැටිය සහ පැසිෆික් භූ තැටිය ගැටෙන්නේ ජපානයේ ඉතිහාසයේ වාර්තාගත බලවත්ම භූ කම්පනය සිදුවෙමිනි. එය Mw පරිමාණයෙන් 9.0 ලෙස වාර්තා වේ. භූ කම්පනය කිසිවෙකුත් නොසිතන ලෙසින් අතිශය තීව්ර වෙන අතර විනාඩි 6 ක කාලයක් පවතී. බලවත් කම්පනය නිසා ජාතික විදුලි බලය පද්ධතිය කැඩී යාමෙන් බලාගාරයේ විදුලිය විසන්ධි වී තිබේ.

මේ GE බලාගාරය සැලසුම් කරතිබෙන්නේ භූ කම්පන අවස්ථාවක ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධතියක් මගින් ආරක්ෂාකාරී වීමටයි. එය "Safety Control Rods Activation Mechanism" (SCRAM) ලෙස හැදින්වේ.



SCRAM පද්දතිය මගින් ෆුකුෂිමා-දයි-1 සහ ෆුකුෂිමා-දයි-2 බලාගාර වල න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාව තප්පර ගණනක් තුල නවතා සම්පූර්නයෙන්ම දමනු ඇත. මේ පද්ධති දිනපතා පරීක්ෂා කරනු ලබන අතර කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.





දිනය: 2011.03.11 ස්ථානය :ශිබුයා, ටෝකියෝ නගරය, ජපානය. වෙලාව : 2.46 PM





වත්සලා සිටින්නේ යොකොහම විශ්වවිද්‍යාලය හවුලේ පවත්වාගෙන යන පර්යේෂණාගාරයක වැඩ කිහිපයක් කරමිනි. තට්ටු 15 ක ගොඩනැගිල්ල තුල ඇය සිටින්නේ 12 වෙනි තට්ටුවේ යි. භූ තැටි 3ක් මත පිහිටා ඇති ටෝකියෝ නගරයේ අප්‍රමාන සුළු කම්පනයන් සිදුවෙන බැවින් එය එතරම් ගණන් ගතු යුතු නැත.



නමුත් මේ කම්පනය එන්න එන්නම දැඩි වේ. ඇය ජපන් සිසුන් අනුගමය කරමින් මේසයක් යටට රිංගා ගනී. එමගින් හිස මතට යමක් වැටීමෙන් සිහි මුර්ච්ඡා වීමෙන් පසුව සිදුවන අනතුරකින් වැළකිය හැකි වෙනු ඇත. ගොඩනැගිල්ල දුන්නක් මෙන් දෙපසට පැද්දෙන අතර විදුලි පහන්ද සිවිලිමද කොටස් කඩා වැටෙමින් තිබේ.





භූ කම්පනය ඉතා දීර්ඝ වෙන අතර ගොඩනැගිල්ලට පැද්දීම දරාගත නොහැකි සීමාව වැඩි දුර නොවේ. බොහෝ විට පණපිටින් පිටවීමට නොහැකි වනු ඇති අතර දැන් සිදුවේ තිබෙන්නේ කිසීවෙකුට සමුදීමෙන් තොරව මරණයට පත්වීමටයි. ජීවිතය රැක ගැනීමට කල හැකි කිසින් ඇය නොදන්නා අතර ඇය සමග සිටින කිසිවෙකුත් කල හැකි කිසිවක් නොදනී. 



දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.02 PM



SCRAM පද්ධතීන් මගින් න්‍යෂ්ටික දාම ප්‍රතිකියාව සම්පූරණයෙන් අවහිර කර ඇති බවට ෆුකුෂිමා බලාගාර වලින් තහවුරු කරනු ලබයි. 

න්‍යෂ්ටික දාම ප්‍රතිකියාව අවසන් වුවද සියල්ල අවසන් නොවේ. න්‍යෂ්ටික ප්‍රතිකියාවෙන් සැදුණු අස්ථායි විකිරණශීලී අතුරුඵල ප්‍රතික්‍රියා ගාරය තුල තිබේ. ඒවා විකිරණ නිකුත් කරමින් තවදුරටත් ක්ෂය වී යනු ඇත. එය decay heat ලෙස හදුන්වයි.  "Decay heat" තාපය ඉවත් කිරීමට තව දුරටත් පැය 24 - 100 දක්වා කාලයක් සිසිලන පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය. අවශ්‍ය විදුලිය බලාගාර වල ඇති ඩීසල් විදුලි ජනක මගින් ලබාදෙනු ඇත. එවැනි විදුලි ජනක 8 ෆුකුෂිමා-දයි-1 බලාගාරයේ තුල තිබේ. ෆුකුෂිමා-දයි-2 බලාගාරය තුලද එවැනි සංඛාවක් තිබේ.


බලාගාරය ආරක්ෂිතව නිවා දැමීමේ සැලසුම් කර ඇති සම්මත ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වේ. ටෝකියෝ විදුලි සමාගම විසින් එය නිල වශයෙන් රජයට දන්වා සිටී. සියල්ල හොදින් සිදුවේ.

මේ පද්ධති දිනපතා පරීක්ෂා කරනු ලබන අතර කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.




මේ වන විට සුනාමි අවධානමක් ප්‍රකාශකර ඇත. ජපන් කාලගුණ ඒජන්සියට අනුව සුනාමි රල අඩි 10 පමණ උස වනු ඇත. බලාගාර පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිය අඩි 30ක් උසිනි. බලාගාරයට සුනාමි රල වැදීම වැලක්වීමට අඩි 30ක ශක්තිමත් බැම්මක් ඉදි කර තිබේ. සියල්ල ආරක්ෂිතව පවතී. සේවකයන් වෙතට ලැබී ඇති හදිසි ආරක්ෂක උපදෙස් මැනුවල අනුව නිවැරදිව කටයුතු සිදුවෙම්න් පවතී. 


දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.27 PM






බලාගාරයේ සිට සුනාමි රල නිරීක්ෂණය කරමින් සිටින සේවයකන් පවසන්නේ අති විශාල සුනාමි රල 4 ක් හෝ ඊට වැඩි ගණනක් එමින් පවතින බව පෙනෙන බවයි. සුළු මොහතකින් කඩා වදින්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අඩි 50ක අතිවිශාල බලවත් සුනාමි රළකි. කෙතරම් බලවත් ද යනු, මිනිස් ඉතිහාසයේ කිසිවෙකු නොසිතූ විරූ බොහෝදේ සිදුවිය හැකි බව ලෝකයටම පසක් කල අතිශය වියරු සුනාමි රළකි.

...............................................................


කලින් ලිපියේ අදහස් දැක්වූ සැවොම ෆුකුෂිමා සිදුවීම ගැන දැනගැනීමට උනන්දු අය මෙන්ම, තාක්ෂණික දේ ගැන උනන්දු අයයි. එබැවින් නැවත මුල සිට සිදුවීම ගැන ඉතා සුළුවශයෙන් තාක්ෂණික කරුණු ලියා තිබේ. ෆුකුෂිමා සිදුවීම එදා සිට අද දක්වා අතිශය සංකීරණ කතාවක් තිබෙන නමුත් මම ලිවීමට උනන්දු වන්නේ මම දන්නා ඉතා සරල සිදුවීම් කිහිපයක් සහ මාධ්‍ය වාර්තා කල ප්‍රධාන සිදුවීම් පමණි. මෙම සිදුවීම් සිංහලෙන් ලියා තැබීම මිස කිසිවෙකුට හෝ කිසියම් ආයතනයකට හෝ කිසියම් රටකට අපහසු තාවයක්  ඇතිකිරීමේ අරමුණක් මෙහි නොවේ. ලියා ඇති දේ වලින් කිසිවෙකුට හෝ කිසියම් ආයතනයකට හෝ කිසියම් රටකට අපහසු තාවයක් ඇතිවේ නම් ඒ ගැන හෘදයංගවම කණගාටුව පලකරන අතර එවැනි දේ පෙන්වා දුනහොත් අදාළ කොටස් ඉවත් කිරීමට සම්පූර්ණයෙන්ම එකග වෙමි.    






Friday, January 27, 2017

මිනිස් ඉතිහාසයේ පලමුවතාවට වියරු න්‍යෂ්ටික බලයටත්, වියරු භූ ගර්භ බලයටත්, හයිඩ්‍රජන් වායුවේ වියරු පිපිරුම් බලයටත් එකවර මුහුණ දුන් - Fukushima 50

දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.40 PM






මේ සිදුවී තිබෙන්නේ ජපානයේ ඉතිහාසයේ වඩාත්ම විශාලම භුමිකපාවයි. බිහිසුණු සුනාමි ඛේදවාචකයකින් දරුවන් ඇතුළු මිනිසුන් 16,000 – 19,000 අතර ගණනක් මියගොසිනි. උදෑසන තිබු නගරය මේවන විට අතිවිශාල සොහොන් බිමකි. විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. බොහෝ දෙනෙකු මෙවැනි දීර්ඝ විදුලි බිඳවැටීමේ අත්දැකීමක් ලබන්නේ ජීවිතයේ පළමු වතාවටයි. පවුලේ අය තවම ජීවත් වේදැයි නොදනී. දැවැන්ත ඛේදවාචකයකි. ඇත්තෙන්ම මේ මහා අර්බුධයක ආරම්භය පමණි.

..


..



දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 8.30 PM







තකියුකි ඉනගකි, (Takiyiki Inagaki) සාමාන්‍යධිකාරී, නඩත්තු අංශය, ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරය





මසඔ යෝශිද, (Masao Yoshida) පාලක, ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරය 


යුරේනියුම් ටොන් 80 පමණ පමණ ඇති ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ පළමු ප්‍රතික්‍රියාගරය විලීන වීමේ පළමු පියවර දැනටම ආරම්භ වී තිබේ. ෆුකුෂිමා-දයි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ තිබෙන යුරේනියම්-235 ටොන් 300 ක පමණ විකිරණ වායුගෝලයට මුසු වීමේ පළමු පියවර දැන් දැන් සිදුවේ.

ෆුකුෂිමා-දයි-නී බලාගාරයේ ප්‍රතික්‍රියාගර 6 විලීන වීම මීලග මොහොතේ ආරම්භ වනු ඇත.

මේ සිදුවෙමින් පවතින්නේ ලෝකයේ ඉතිහාසයේ සිදුවූ විශාලතම නෂ්ටික අනතුර වූ ශේනෝබිල් අනතුර තරම් හෝ හෝ ඊටත් වඩා බිහිසුණු අනතුරකි.

දිනපතා පුහුණු, සතිපතා පෙරහුරු කිසිවකින් මේ වන විට පලක් නැත. මේ උදාවී තිබෙන්නේ කිසිවෙකු කිසිදින නොසිතු අර්බුධයකි. කිසිවෙකු ඊට මුහුණදිය යුතු අකාරය නොදනී. එය අදුරු සොහොන් බිමකි. විදුලිබලය හෝ දුරකථන ද එකසේ ක්‍රියාත්මක නොවේ. සැවොම අසරණ වී සිටී.

ගෙවෙන සෑම මොහොතකම න්‍යෂ්ටික ප්‍රතික්රියාගාර වල පීඩනය වැඩිවෙන අතර ලෝකයේ සිදුවිය හැකි විශාලතම න්‍යෂ්ටික අනතුරට වඩා ලංවෙමින් පවතී.

ටෝකියෝ විදුලි සමගම හෙවත් TEPCO වෙතින් හරි උපදෙසක් නොලැබේ. එමෙන්ම බලවත් පසු කම්පන සිය ගණනක් තවමත් සිදුවේ. 

ඔවුන් සටන් කරන්නේ ඇසට නොපෙනන සතුරෙකු වන න්‍යෂ්ටික විකිරණ නිකුත් කරන පාලනයක් නොමැති නෂ්ටික බලාගාරයක් සමගයි.

මේ බලවත් අනතුර වලක්වාගැනීමට යමක් කලයුතු වුවත්, කුමක් කල යුතුද කෙසේ කලයුතුද යන්න කිසිවෙකු නොදනී. 

It becomes darker and darker. A terrifying situation. We are fighting with invisible enemies, out of control reactors. We face a nuclear meltdown disaster.  (Takiyiki Inagaki)

..


..

දිනය: 2011.03.11 ස්ථානය : අන්තර්ජාතික සිසු නිවස්නය, යොකොහම ජාතික විශ්විද්‍යාලය, යොකොහම නගරය, ජපානය. වෙලාව : 8.45 PM






වත්සලා රණසිංහ (Wathsala Ranasinhe) මෙනවිය යොකොහම ජාතික විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි සිසුවියකි. සිදුවූ ඛේදවාචකය යොකොහම දක්වාම කැළඹීමට පත්කර තිබේ. විදුලි බලය තවම ස්ථායි නැත. ටෝක්යෝ නගරයට න්‍යෂ්ටික විකිරණ ඇතුළු වීමේ අවධානම සමගම සමහර විදේශිකයන් රට හැර යාමට දැනටම පටන්ගෙන තිබේ.

වෙළඳසල් වල තිබෙන්නේ දිගු පෝලිම්ය. මිනිසුන් ආහාර මත්පැන් දුම්වැටිද ආදී සුඛෝපබෝගී භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝලිම්වල සිටී. තවම කිසිදු කලබලයක සේයාවක් ජනතාව අතර නැත. කිසිවෙකු පෝලිම පැනීමට හෝ සිතන්නේ නැත. ජපන් ජනතාව උපතේ සිට පුහුණු කර තිබෙන්නේ මෙවැනි අනතුරකට මුහුණ දීමටයි.

කෙසේ වුවද ජීවිතය රැකගැනීම අතිශය අසීරු අවස්ථාවකදී ජපන් මිනිසුන් කෙසේ හැසිරේ දැයි වත්සලා බියට පත්වේ. ශිෂ්ටාචාර ගත මිනිසුන් වුවද එවැනි අවස්ථාවක තිරිසනුන් මෙන් හැසිරිය හැකි බව ඇය කියවා තිබේ.

අවශ්‍ය විටෙක රටින් පිටවීමට සුදානම් වී සිටින ලෙසද, ඒ සඳහා අවශ්‍ය නැවත ඇතුල් වීමේ අවසරය (Re-entry permit)  ලබාගෙන තබාගන්නා ලෙස ඇයට ශ්‍රී ලංකාවේ ඥාතීන්ගෙන් උපදෙස් ලැබේ.

Dear Professor, I am really worried about the current situation. Tomorrow, I am going to take the re-entry permit. (Wathsala Ranasinhe)

..

..



දිනය: 2011.03.11 ස්ථානය : ටෝකියෝ නගරය, ජපානය. වෙලාව : 9.00 PM





Naoto Kan, The Prime-minister of Japan.
   

ජපානයේ අගමැති නඔතො කාන් මත තිබෙන්නේ අතිශය බරපතල වගකීමකි. ෆුකුෂිමා බලාගාර දෙක සමග විකිරණශීලී යුරේනියම්-235 ටොන් අටසියයක් පමණ වාතයට මුසුවීමේ අනතුර ක්‍රියාත්මක වෙමින් පවතී.

එතරම් විකිරණ ප්‍රමාණයක් වාතයට මුසුවුවහොත් සෙන්දයි සිට ටෝකියෝ දක්වා හෝ ඊටත් වඩා ප්‍රදේශයක් සම්පූරණයෙන්ම මිලියන 50 ක් පමණ ජනතාව ඉවත් කලයුතුය. මිලියන 50 යනු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ජනගහනයකි. වර්ෂ 1600 සිට ප්‍රධාන නගරය වූ ටෝකියෝව දශක කිහිපයකට අතහැරීමට සිදුවනු ඇත. ඊට හොදම උදාහරණය රුසියාවේ ශේනොබිල් නගරය අඩුම තරමේ වසර 600 ක්වත් යනතුරු අතහැර දැමීමට සිදුවීමයි.

යමක් කල යුතු වුනත් ඒ කුමක්දැයි කෙසේදැයි කිසිවෙකුත් නොදනී. ජපානයේ අගමැති නඔතො කාන් මුහුණ දෙන්නේ මිනිසා ශිෂ්ටාචාර ගතවූ දින සිට මිනිස් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙක් මුහුණ නොදුන් ප්‍රධන නගරය හිස්කිරීමේ අවධානමටයි.     

හදිසි අවස්ථාවක නිවැරදි තීරණයක් ගැනීමට ජීවිත කාලය පුරාවට ඔහු පුහුණු කර තිබුනද ලැබෙන තොරතුරු වැරදි නම් ඒ තීරණය ගැන විශ්වාසයක් තිබිය නොහැක.

අගමැති නඔතො කාන් යනු Tokyo Institute of Technology හි Applied Physics උපාධි දාරියෙකි. ඔහු න්‍යෂ්ටික විද්‍යාව ගැන දැනුවත් රාජ්‍ය තාන්ත්‍රිකකි. කිසිදු තොරතුරක් විශ්වාස කල නොහැකි මට්ටමේ පවතී නම් රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට සිදුවන්නේ න්‍යෂ්ටික විකිරණ නිකුත් කරන පාලනයක් නොමැති නෂ්ටික බලාගාරයක් වෙත ගොස් සියසින් තොරතුරු දැනගැනීමටයි. වගකීමෙන් යුතු රාජ්‍ය නායකයෙක් වශයෙන් අගමැති නඔතො කාන් තීරණය කරන්නේ පාලනයකින් තොරව පවතින අනතුරුදායක ෆුකුෂිමා බලාගාරය වෙත හැකි ඉක්මනින් ගොස් පරීක්ෂා කිරීමටයි.




ලෝකයේ දසදෙසින් කණගාටුව පලකරිමින් නිකුත් කැරෙන පණිවුඩ ජපානය වෙත ගලා එමිත් තිබේ. වරෙක ලෝකය යටත් කර ගැනීමට තැත්කළ තාක්ෂණයෙන් අනූන ශ්‍රේෂ්ඨ ජාතියක අනාගතය අවිනිශ්චිත තත්වයක පවතී. 


If Tokyo need to be evacuated, I fear entire nation of Japan will be paralyzed by chaos, for quite long time. (Naoto Kan, The Prime-minister of Japan.)

..


What it takes to save the country ? Bravery-Honor-Sacrifice – The Fukushima 50.







ඇත්තෙන්ම ඔවුන් වියරු නය්ෂ්ටික බලයටත්, වියරු භූ ගර්භ බලයටත්, හයිඩ්‍රජන් වායුවේ වියරු පිපිරුම් බලයටත් එකවර මුහුණ දෙමින් සිටී. මිනිස් ඉතිහාසයේ කිසිවෙකුත් මේ වියරු බලයන් සියල්ලට එකවර මුහුණ දී නැත.