Tuesday, August 16, 2016

නියුටෝන ප්‍රෝටෝන හැදෙන හැටි සරලව කියන නයෂ්ඨික භෞතික විද්‍යාව Particle Physics



පදාර්ථයේ ජීවීන් වන අපට පදාර්ථය ගැන අධ්‍යනය කිරීම ඉතා වටී. අපේ ශරීරය සැදී තිබෙන්නේ පරමාණු එක්වීමෙන් බව බොහෝ දෙනා දන්නා සරල කරුණකි. පරමාණු සැදී තිබෙන්නේ න්‍යෂ්ටියක් සහ ඒ වටා ඇති ඉලෙක්ට්‍රොන වලාවකිනි. පරමාණු න්‍යෂ්ටියේ ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනයි. පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන වලාවේ වෙනස්වීම් මගින් ඇතිවෙන රසායනික ක්‍රියාදාමයන් බොහොමයක් රසායන විද්‍යාව යටතේ අධ්‍යනය කෙරේ. පරමාණුවේ න්‍යෂ්ටියේ සිදුවෙන වෙනස්කම් බොහෝවිට අධ්‍යනය කෙරෙන්නේ න්‍යෂ්ටික භෞතිකවිද්‍යාව යටතේය. පරමාණු වල න්‍යෂ්ටිය සැදී ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනවලින් බව බොහෝදෙනා දන්නා නමුත්; ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සැදී ඇත්තේ මොනවයින්ද යන්න ගැන සිංහලෙන් ලියවී ඇති ලිපි ප්‍රමාණය ඉතා අඩු බව පෙනීයන බැවින් ඒ ගැන ලියා තැබීම වටින බව පෙනේ.



භෞතික විද්‍යාවේ මුලික අංශු (elementary particles) දෙවර්ගයක් කතාකරයි. එනම් ලෙප්ටෝන (Lepton) සහ හැඩ්‍රෝන (Hadron) එම දෙවර්ගයයි. ලෙප්ටෝන ස්කන්ධය අඩු  සැහැල්ලු අංශු වන අතර හැඩ්රෝන ස්කන්ධය වැඩි බැර අංශු වේ. ලෙප්ටෝන වර්ග 6ක් ගැන මුලික අංශු පිලිබඳ බහුතික විද්‍යාවේ කතාවේ. ඒවා නම්, ඉලෙක්ට්‍රොන (electron), මියුඕන (muon), ටෝ (tau) සහ ඒවාට අනුරූප නියුට්‍රිනෝ (neutrino) වන ඉලෙක්ට්‍රොන නියුට්‍රිනෝ, මියුඕන  නියුට්‍රිනෝ, ටෝ නියුට්‍රිනෝ වේ. 1987 වර්ෂයේ පළමු සුපර්නෝවා පිපිරුම නිරීක්ෂණය කල ජපන් විද්‍යාඥ කණඩායමක් විසින් නියුට්‍රිනෝ වල භෞතික පැවැත්ම අනාවරණය කරගන්නා ලදී.


හැඩ්‍රෝන සැලකූ විට, ඒවා සැදී තිබෙන්නේ ක්වාර්ක් (Quark) නම් අංශු කිහිපයක් එක්වීමෙන් බව නුතන න්‍යෂ්ටික භෞතික විද්‍යාව කියයි. නමුත් ක්වාරක් අංශු එකිනෙකින් වෙන් කිරීමට හැකියාවක් තවමත් නොමැති බැවින් ක්වාර්ක් වල බහුතික පැවැත්ම පර්යේෂණාත්මකව තහවුරු කර නැත. ක්වාරක් එකිනකින් වෙන්කර ගැනීමට අවශ්‍ය ශක්තිය ඉතාම අධික වේ. ඒ කොතරම්ද කියන්නේ නම්, ඒ ශක්තිය පදාර්ථ අංශුවක් (particle)-ප්‍රති පදාර්ථ අංශුවක් (anti particle) එක්වී සෑදෙන යුග්ම අංශුවක් නිපදීමට (pair production) අවශ්‍ය ශක්තියටද වඩා වැඩිය. ක්වාර්ක් අංශු වෙන්කිරීමට අවශ්‍ය ශක්තිය යෙදීමට පෙර, ඒ ශක්තිය පදාර්ථය බවට පත්වෙන බැවින් ක්වාර්ක් වෙන්කිරීම සිදුකල නොහැකි බව පෙනීයයි.


ක්වාර්ක් වර්ග 6ක් පවතී. Up (u), Down (d), Charm (c), Strange (S) Top (t), Bottom (b) යනු ඒවායි. මේ ක්වාර්ක් වර්ග 6 හි ප්‍රති-ක්වාර්ක් (anti quark) වර්ග 6ක් ද තිබේ. උදාහරණයක් ලෙස, u හි ප්‍රති ක්වාර්ක් අංශුව ū ලෙස හදුන්වයි. ක්වාර්ක් වල විද්‍යුත් ආරෝපණ සලකු විට u = +2/3, d = -1/3 c = +2/3 s = -1/3, t = +2/3, b = -1/3  ලෙස වේ. ū හි ආරෝපණය u ට ප්‍රතිවිරුද්ධ; එනම් ū = -2/3 වේ. මෙය අනෙක් සියලු ක්වාර්ක් වලටද එසේම වේ. u හෝ d ක්වාර්ක් වල ස්කන්ධය ප්‍රෝටොනයක ස්කන්ධයෙන් 1/3 කි.


ක්වාර්ක් ගැන අධ්‍යනයේදී ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට සමගාමී ක්වොන්ටම් වර්ණයාන්ත්‍ර විද්‍යාව (quantum chromodynamics) යොදාගනී. ක්වාර්ක් වල වර්ණය (color) නමැති ගුණයක් තිබේ. මෙහිදී වර්ණය යනුවෙන් අදහස් කරන්නේ රතු, කොළ, නිල් යන මුලික වර්ණ වලට සමාන්තර සංකල්පයක් මිස සැබෑ වර්ණයක් නොවේ. ū හි වර්ණය u හි වර්ණයට සාපේක්ෂව ප්‍රති-වර්ණය (anti color) විය හැකිය. ක්වොන්ටම් වර්ණ යාන්ත්‍රික විද්‍යාව අනුව ක්වාර්ක් පැවතිය හැකිවන්නේ වර්ණය ශුන්‍ය වන ලෙස බැදී ඇති අවස්ථා වල පමණි. රතු, කොළ, නිල් යන වර්ණ ගුණාංග ඇති ක්වාරක් 3ක් එකට බැඳිය හැකිය. වර්ණය සහ ප්‍රති-වර්ණය සහිත ක්වාර්ක් දෙකක් එකට බැඳුන විටද වර්ණ ශුන්‍ය වේ. මෙලෙස ක්වාර්ක් 3ක් බැදීමෙන් සැදෙන අංශු බැරියෝන (Barion) ලෙස හැදින්වේ. බැරියෝන හැසිරෙන්නේ ෆර්මි-ඩිරැක් සංඛ්‍යාන නීති (Fermi-Dirac statistics) අනුව බැවින් ඒවාට ෆර්මියෝන (Fermions) යයිද කියනු ලැබේ. ක්වාර්ක් සහ ප්‍රති-ක්වාරක් අංශු දෙකක් එකට බැඳීමෙන් සැදෙන අංශු මීසොන (meson) වේ. මීසොන හැසිරෙන්නේ බෝස්-අයින්ස්ටයින් සංඛ්‍යාන නීති අනුව බැවින් ඒවාට බෝසෝන (Bosons) යයිද කියනු ලැබේ.   


බැරියෝනයක් වන ප්‍රෝටෝනයක් සැදෙන්නේ uud ලෙස ක්වාර්ක් එක්වීමෙනි. ප්‍රෝටෝනයක ස්කන්ධය  1/3 + 1/3 + 1/3 = 1 වේ. ප්‍රෝටෝනයක ආරෝපණය +2/3 + 2/3 - 1/3 = (+1) වේ. නියුට්‍රොන්යක් සැදෙන්නේ udd ලෙස ක්වාර්ක් බැදීමෙනි. නියුරෝනයක ස්කන්ධය 1/3 + 1/3 + 1/3 = 1 වේ. නියුරෝනයක ආරෝපණය +2/3 -1/3 -1/3 = 0 වේ. 

නුතන විද්‍යාව අනුව විශ්වයේ පවතින්නේ ප්‍රභල න්‍යෂ්ටික බල, දුර්වල න්‍යෂ්ටික බල, විද්‍යුත්-ච්ම්භක බල, සහ ගුරුත්වාකර්ෂණ බල යන බල වර්ග 4 පමණි. මුලික අංශුන් මෙම බල වර්ග සමග අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්න පසු දිනෙක සලකා බලමු. 

25 comments:

  1. ලිපිය නම් බොහොම බරසාරයි.

    කියෝගෙන යනකොට මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් කරපු Chemistry පාඩම් මතක් වුනා.

    සමාවෙන්න ඕන, ඔබේ පොස්ටුව ආශ්‍රයෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්න තරම් මගේ ඔය සම්බන්ධ අධ්‍යනය ප්‍රමාණවත් නැහැ.කොටින්ම කිව්වොත් ඒ ලෙවෙල් වලදී කලාට පස්සේ ඔය සම්බන්ධයෙන් හොයලා බලලා වත් නැහැ.

    -----------
    ඒ මොනා වුනත් පුංචි දෙයක් දැනගන්න කැමතිය්.
    //බෝසෝන (Bosons) //
    මේ කියන්නේ මීට අවුරුදු කීපෙකට කලින් LHC එකේ කරපු ටෙස්ට් එහෙකින් හොයා ගත්තු God's particle එක ගැනද? මට මතක විදියට ඒ දවස් වල නිවුස් වල එහෙමත් කියවුනා භෞතික විද්‍යාවේ එතෙක් මෙතෙක් කරපු විශිෂ්ටම සොයා ගැනීම කියලා.
    ඔබ මේ කතා කරන්නෙත් ඒ ගැනද?

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා. ඔබේ වටිනා අවංක අදහසට බොහොම ස්තුතියි. ඔබ මේ කියා තිබෙන්නේ හිග්ස් බොසෝනය නම් එක්තරා විශේෂිත බෝසොනයක් ගැනයි.

      මේ ලිපියේ අඩංගු දේවලින්, නියුට්‍රෝන ප්‍රෝටෝන සැදීම ගැන කීමට අත්‍යවශ්‍ය දේ හැර අනෙක් සියලු දේ ඉවත් කර ලිපියේ දෙවන සංස්කරණයක් පල කරන්නට සිතුවෙමි.

      ඉඩක් තිබේ නම් සතියකින් පමණ පලකිරීමට සිතන මේ ලිපියේ දෙවන සංස්කරණය කියවා මෙම ලිපිය සමග සංසන්දනය කර අදහස දක්වන මෙන් ඉල්ලමි. බොහොම ස්තුතියි ඔබේ අදහසට. මෙමගින් පුළුල් පරාසයක කියවන්නන්ගේ අදහස් ලබාගැනීමට සිතමි.

      Delete
    2. නොතේරෙන ලෙස ලිවීම ගැන සමාව ඉල්ලිය යුත්තේ මමයි. මමද උසස්පෙළට ලියුවේ මීට වසර දොළහකට පෙර නමුත්, එකල මේ විෂයන් අයත්ව තිබුනේ භෞතික විද්‍යාවටයි. ඊට පෙර තිබු නිර්දේශයටත් පෙර තිබු නිර්දේශයේ නම් මේවා අයත්ව තිබුනේ රසායන විද්‍යාවට බව සැකෙවින් මතක තිබේ.

      මමද රසායන විද්‍යාව ඔස්සේ විශ්ලේෂනාත්මක රසායනවිද්‍යාවට පැමිණ එයින් රසායනික සංවේදක ගැන පර්යේෂණ කර, ඒ හරහා නැනෝ තාක්ෂණයට ඇතුල්වී, නැනෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ගොස් ඒ හරහා ව්‍යවහාරික බහුතික විද්‍යාව තුලින් පැමිණ න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ කුඩා පර්යේෂණ වලට පැමිණිය මිස න්‍යෂ්ටික භෞතික විද්‍යාව ගැන මමද බොහෝ දේ හදාරා නැත.

      Delete
  2. කවුරුවත් මොකවත් ප්‍රශ්ණ අහලා නෑනේ. මමවත් මොනව හරි අහන්නම්.

    Up (u), Down (d), Charm (c), Strange (S) Top (t), Bottom (b) නම් දාලා තියෙන්නේ ඇයි.

    මේවා මෙහෙම හැදුනේ අහම්බයෙන්ද? නැතිනම් බුද්ධියකින්ද??????? (:D)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් ඇසීම බොහොම අගයකොට සලකමි. මම වඩාත්ම සතුටින් බලාපොරොත්තු වන්නේද එයයි. ප්‍රශ්නයට පිළිතුරු දීම අපහසු වන තරමට මගේ සතුටද වැඩිවේ. ඔබේ ප්‍රශ්න දෙකම මම නොසිතු දේවල් දෙකක් ගැනයි. දෙවන ප්‍රශ්නය ඇත්තටම දාර්ශනික ප්‍රශ්නයකි.
      මේ දෙකටම දීර්ඝ විස්තරාත්මක පිළිතුරක් පලකිරීමට අවශ්‍ය බැවින් හෙට දිනයේදී පලකිරීමට බලාපොරොත්තුවෙමි.

      Delete
    2. ක්වාර්ක් වල ගුණයක් වන සම-භ්‍රමණ (isospin) ක්වොන්ටම් අංකය මත පදනම් වෙමින් up down නම් යෙදු බව සදහන් වේ. Strange නම යොදා ඇත්තේ එහි පුදුමාකාර දීර්ඝ ආයු කාලය සලකමිනි. Charm ක්වාර්ක් වර්ගය එකම අවස්ථාවේදී Stanford සහ Brookhaven කණ්ඩායම් දෙකක් විසින් සොයා ගත් අතර, එයට කඩිමුඩියේ නම යොදා ඇත. Top හා Bottom ක්වාර්ක් මුලින් හැදින්වුයේ True සහ Beauty නමින් වුවත් ඒ නම් හැඩ වැඩි බව කියමින් නැවත සම-භ්‍රමණ ක්වොන්ටම් අංකය සලකමින් Top Bottom ලෙස නම් කර ඇති බව පෙනේ.

      විශ්වයේ බිහිවීම ගැන ඔබේ ප්‍රශ්නයට මගේ පිළිතුර කතාන්දරයක් මිස සත්‍යයක් නොවේ. මම සිතන්නේ නම් විශ්වයේ බිහිවීම ස්වභාවිකව සිදු වූ බවයි. සමහර විට වෙනත් විශ්වයන් වල බුද්ධියන් විසින් අපේ විශ්වයේ බිහිවීම පාලනය කරන්නටද ඇත. නමුත් එය කිසිවෙකු නොදනී.

      කෙසේ වුවද, ඔබ හා මම වැනි මිනිසුන්ට තේරුම් ගත් හැකි වන ලෙස මේවාට මොඩලයන් තැනීම සිදු කලේ නම් බුදධිමත් මිනිසුන් විසිනි. මෙම මොඩලයන් පරම සත්‍යය නොවෙන අතර යම් කිසි සීමා සහිත පරාසයක් තුල සීමාව දැනගෙන භාවිත කල යුතුය. අද අපේ දැනුම අනුව මෙම මොඩලයන් වලංගු වුවද හෙට දිනයේ ඒවා අවලංගු වී යා හැකිය. නමුත්, එතෙක් මෙම මොඩලයන්ගෙන් වැඩ ගත හැකි බව මගේ අදහසයි. බටහිර විද්‍යාව යනු ස්ව්භාවධාරාමය තේරුම් ගැනීම පිණිස ගොඩනැගු සීමා සහිත මොඩලයක් මිස ස්වභාවධර්මය පාලනය කළහැකි උපකරණයක් නොවේ.

      Delete
    3. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවෙ නම් විහිලුවට. යොහොව්වා සඟරාවල ඔයවගේ ලිපි දාලා අන්තිමට ඔය ප්‍රශ්නේ අහනවා :)

      ක්වන්ටම් භෞතික විද්‍යාව තනිකරම ගණිත සංකල්ප මත ගොඩනැගුන දෙයක්.
      ඒ ගණිත සංකල්ප සරලව උපමා අශ්‍රයෙන් පැහැදිලි කරන්න ක්‍රමයක් හද‍ාගත්තොත් ඔය මාතෘකාව ගැන සාර්ථකව පැහැදිලි කරන්න පුළුවන්.

      Delete
  3. හොඳ ලිපියක්. මම ලියන්න පටන් අරගෙන කාලයක් ගිහින් නැවැත්තුව.
    https://kolambagamaya.blogspot.co.uk/2014/12/blog-post_11.html
    https://kolambagamaya.blogspot.co.uk/2014/10/big-bang-cmb.html
    http://quantumchecks.blogspot.co.uk/2014/03/bbn-reactions-explained.html

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල ලිපිදෙක හා ඉංග්‍රීසි ලිපිය ඉතාම වටින්න ලියවිලි බව පෙනේ. ඔබ මේවා ලිවීම නැවත්වුවේ ඇයිද යන්න දැනගැනීමට හැකි නම් ඉතා වටී. මේවා කියවන සංඛ්‍යාව අඩු බව නම් මටද පෙනේ.

      නමුත් විද්‍යාත්මක ලිපි යනු සිංහල බ්ලොග් වල දැනට ඕන තරම් තිබෙන දේ වලට අමතරව යමක් එකතු කල හැකි පරාසයන්ගෙන් එකක් බව පෙනෙන බැවින් ලියුවෙමි.

      Delete
    2. ඔබේ ලිපිය ඇස්ට්‍රොනොමි වලින් ඇතුල්වී යන දිශාවට මම ඇතුල්වුනේ රසායන විද්‍යාවේ දිශාවෙන් වුවත් අපේ මේ ලිපිවල අරමුණ එක කිට්ටුවට එන බව පෙනේ.

      Delete
    3. මම ලිවිම නැවැත්වුයේ සිංහල ප්‍රශ්නය නිසා. හරි සිංහල පරිවර්තනය සොයා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය. අනික තමා ලිපි එපමණ කියවන්නේ නැහැ. ඒ නිසා කුමක් හරි සිද්ධියකට අදාළ කරගෙන ලියන් තීරණය කළා. තවම නවත්වා නැහැ.

      Delete
    4. මම අජිත් ගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ අජිත් ලියපු ඒ ලිපි ටික නිසා.. ඉඳල හිටලා හරි ඒවගේ ඒවා ලියන්න..

      Delete
    5. ස්තූතියි පැතුම්. කෙන්කියුෂා ගේ ලිපිය කියෙව්වම මටත් හිතුන ආයිත් පටන් ගන්න. මේ දේශපලන ලිපි ලියනවට වැඩිය ඒක හොඳයි. ඇඟටත් ගුණයි . හේ හේ

      Delete
    6. දේශපාලනයත් වැදගත්. ඒත්, දේශපානය කරනවා කියන්නේ ප්‍රාදේශීය සභා චන්දෙට ඉල්ලන මනුස්සයෙකුගේ පස්සෙන් ගිහින් කොළ ටිකක් ගෙවල් වලට බෙදන එකයි කියල හිතන මිනිස්සු එක්ක දේශපාලනය ගැන විවාද කරල වැඩක් නෑ. අපේ රටේ උගත්තු බොහොම දෙනෙකුට පවා දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නැති බව හෝ නිවැරදි නොවෙන අවබෝධයක් ඇති බව බොහෝවිට පෙන්නේ. දියුණු ලෝකේ දේශපාලනේ කියන්නේ ස්මාර්ට් මයින්ඩ් ගේම් එකක් වුනාට අපේ රටේ තවම ඒක කුණුහරුප කියාගන්න සිල්ලර එකක්.

      දේශපාලනේ ගැන කතා කරනවා නම් ඊට කලින් දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳ කතිකාවක් ඇතිවෙන්න ඕනේ. එහෙම නැතුව රටේ මේ තියෙන කැපුවත් නිල්-කොළ-රතු හෝ පුද්ගලානුබද්ධ වෙලා අටුවන් බැහැපු දේශපාලනේ ගැන කතා කරනවා නම් අපිත් ඒ මඩට වැටෙන්න බලාගෙනම තමයි ඒක කරන්න වෙන්නේ.

      Delete
    7. ඔවු අජිත් ඔබ ආයේ ලියන්න. සිංහල බ්ලොග් වල වැඩිය කතා නොවෙන මේ දේවල් වැඩිපුර ලියවෙන එක වටිනවා. එක පාරක් කියෙව්වට තේරුම් ගන්නේ නැති අය නිතරම ලියවෙනකොට තේරුම් ගනීවි.

      Delete
    8. //දේශපාලනේ ගැන කතා කරනවා නම් ඊට කලින් දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳ කතිකාවක් ඇතිවෙන්න ඕනේ. එහෙම නැතුව රටේ මේ තියෙන කැපුවත් නිල්-කොළ-රතු හෝ පුද්ගලානුබද්ධ වෙලා අටුවන් බැහැපු දේශපාලනේ ගැන කතා කරනවා නම් අපිත් ඒ මඩට වැටෙන්න බලාගෙනම තමයි ඒක කරන්න වෙන්නේ.// හරියට හරි. ඕක නම් ලොකුම ප්‍රශ්නයක් තමයි.

      Delete
  4. මටනං හොද නරක කියන්න තේරෙන්නෑ හොදේ.
    ඒත් සිංහලෙන් වැඩිය නොලියවුණ දේවල් සරල සිංහලෙන් ලියලා තියෙන එක ඒ ගැන උනන්දු කෙනෙකුට වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස තමයි ගොඩක්ම වටින්නෙම මෙතන මම දන්නා තරමින් නම් ඔයා ස්වභාවික විද්‍යාව ක්ෂේස්ත්රයේ වෙනත් පැත්තක නිපුන පර්යේක්ෂිකවක්. ඔයාටත් මම ලියපු දේ තේරෙන්න නැතිනම් මම මගේ ලිවීමේ ගැටලුව තේරුම් ගත යුතුයි.

      එක පියවරක් ලෙස, මේ ලිපියේ අඩංගු දේවලින්, නියුට්‍රෝන ප්‍රෝටෝන සැදීම ගැන කීමට අත්‍යවශ්‍ය දේ හැර අනෙක් සියලු දේ ඉවත් කර ලිපියේ දෙවන සංස්කරණයක් පල කරන්නට සිතුවෙමි. ඉඩක් තිබේ නම් සතියකින් පමණ පලකිරීමට සිතන මේ ලිපියේ දෙවන සංස්කරණය කියවා මෙම ලිපිය සමග සංසන්දනය කර අදහස දක්වන මෙන් ඉල්ලමි.

      ඩිෆෙන්ස් ඉවරද ඔයාගේ ?

      Delete
    2. ඉවරයි ඉවරයි. ඒවා ඉවර වෙලයි මේක කියෙව්වෙ. ආයෙ ඉතින් මැරෙණකල්ම මෙහෙම හිත නිදහසේ ඉන්න නැති නිසා දැන් ඉන්නවා ෆ්‍රී බර්ඩ් වගේ.

      Delete
  5. සියලු අදහස් වලට බොහොම ස්තුතියි. නගරයෙන් බැහැරව සිටින බැවින් අදහස් වලට පිළිතුරු දැක්වීමට හෙට දිනයේදී බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, ඔයා අර උඩ අජිත්ට ලියපු පිළිතුරේ ලියලා තියෙන්නෙ මේවා කියවන ප්‍රමාණය අඩුයි කියලා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්.

      නමුත් මං හිතනවා අපි ඉගෙනගත් දේවල් වලින් යමක් මෙහෙම ලියා තැබීම අපි විසින් කළ යුතුම යුතුකමක් කියලා.

      මේවා දිගටම අන්තර්ජාලෙ තියෙනවනෙ. ඉතින් එකවර නැතත් කාලෙත් එක්ක මේ දේවල් කියවන පිරිස වැඩි වෙයි. අදට වඩා මේ දේවල් හෙටට ප්‍රයෝජනවත් වෙයි.

      නමුත් මමත් ලියන කෙනෙක් හැටියට දන්නවා කියවන පිරිස වැඩිනං ඒක ලිවීමට ශක්තියක් වෙනවා කියලා.

      මේ ලියන දේවල වටිනාකමක් තියෙන බව අපි හොදින් දන්න නිසා කියවන එක්කෙනෙක් හෝ වෙනුවෙන් ඉඩ ඇති වෙලාවට මේවා ලියලා තියන්න. අපි දන්නවනෙ අපිට සිංහලෙන් අපේ විෂයන්ට අදාලව කිසි දෙයක් නැති කමින් දැනෙන අඩුව සමහර වෙලාවට

      Delete
    2. මමත් ලියන්නේ කවද හරි කියවයි කියන බලාපොරොත්තුවෙන්. අනික ලියන කොට මටත් නවතැහැ මතකය අලුත් කර ගන්න වෙන එකත් හොඳයි.

      Delete
  6. මේ කරුණු සිංහලෙන් ලිවීම හරිම වැදගත්.. මට මතකයි මම ඉස්සර විදුසරේ යන මේ මේ වගේ සබ්ජෙක්ට් ගැන තියෙන ලිපි අමාරුවෙන් කියවනවා.. දැන ගන්න තියෙන ආසාවට..පත්තරේ තියෙන එක හරියට තේරුනොත් හරි නැත්නම් ඉතින් මොකක් හරි බයිලයක් ඔළුවේ තියාගෙන ඉන්නවා.. කාගෙන්හැ කියල අහන්න ද.. හෙහ් හෙහ් ...බ්ලොග් වලින් ඒ සීමාවල් ඔක්කොම නැති වෙලා තියෙනවා... මේ වගේ ලිපි කියවන්නේ ටිකක් හරි උනන්දුවක් තියෙන අය විතරයි.. උනන්දුව තියෙන අය වැඩිවෙන්නේ සරලව දිගටම ලිපි ලියන කොට... ඉංග්‍රීසි නොවන භාෂාවකින් ඉගෙන ගත්ත අපට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය නවීන විෂය කරනු භාෂාවේ අමාරුකම් එක්ක තේරුම් ගන්න තියෙන අපහසු තාවය නේ.. ඉතින් දැන් දැන් මේවා ඉගෙන ගන්න අයට මේ කරුණු සිංහලෙන් තියෙන එක සෑහෙන වැදගත් වෙයි පහසුවෙන් තේරුම් ගන්න..

    ප්‍රශ්න අහන්න තරම් වැඩි දෙයක් නොතේරුණත් දිගටම මේ ලිපි කියවනවා.. ඒ නිසා දිගට ලියන්න..

    ReplyDelete
    Replies
    1. කියවලා දෙයක් ගන්න එහෙම එක කියවන්නෙක් වෙනුවෙන් වුනත් ලියන එක සතුටක් බවයී මම හිතන්නේ.

      මගෙත් ලිවීමේ අඩුපාඩු ටිකක තිබෙනවා ඒවා හදාගන්නත් ඕනේ. වසර ගණනාවක සිට විශ්වවිද්‍යාල පර්යේෂක සිසුන් සහ මහාචාර්යවරුන් පමණක් ම ලගින් ආශ්‍රය කිරීම නිසා ලියන දේ අනික් අයට නොතීරීම මට සහරා තැන වලදී වටහා ගන්න අපහසු වුනා. මගේ වෘතීයමය ක්ෂේස්ත්‍රය වන නැනෝ ගැන ලියපු ලිපි දෙක එතනින් නතර කරන්න වුනේ ඒ ගැන අවබෝධ කරගන්න තෙක්. සමහර විට ලිපියේ ගත යුත්තක් ඇත්තේ නෑ නේද කියල හිතල අලුතින් ඒක කරන දේවල් වලින් ලිපිට වඩා සංකීර්ණ වෙනවා.

      අනෙක භාෂාව යොදා ගැනීම. ගොඩක් දෙනා කියපු විදියටම සරල භාෂාවෙන් ලියන්න මම කැමතියි. නමුත්, අවංකවම කියනවා නම් අර "ශ්‍රී එෆ් එම්" ප්‍රවුත්ති කියන භාෂාව නම් මම කොහොමටවත් ලිපි වලට යොදා ගන්න කැමති නෑ කොමෙන්ට් වලට නම් කතා කරන භාෂාව වුනත් අවුලක් නෑ

      අනික මම බොහෝ වෙලාවට ලියන්න තිබෙන සියලු දේ ලියන්නේ නැතිව කොටසක් ඉතිරි කරනවා කොමෙන්ට් වලදී සංවාදයට. නමුත් එහෙම බලාපොරොත්තු වුන තරමේ හොඳ සංවාදයක් ඇති වුනේ හිරෝෂිමා සහ ජනපති ඔබාමා ගැන ලිපියේ විතරයි.

      ඉතින් ලියන ගමන් ඔය අඩුපාඩු හදාගන්න බලනවා දැන්.

      කියවන ඕනෙම කෙනෙකුට ඒ ගැන හිතට එන ඕනෙම ප්‍රශ්නයක් අහන්න මේ බ්ලොග් පිටුවේ ඉඩ තිබෙනවා. උත්තර දෙන්න මම දන්නේ නැති නම් ඒ ගැන සොයල කියන්නත්, එහෙමත් බැරි නම් දන්නේ නැති බව අවංකව කියන්නත්, උත්තර දෙන්න අකමැති ප්‍රශ්නයක් නම් උත්තර දෙන්න අකමැති බව කියන්නත්, වෘත්තීයමය තරුණ විද්‍යාඥයෙක් විදියට මා පුහුණු කර තිබෙන්නේ.

      ඉතින් බොහොම ස්තුතියි අපිව කියවනවට.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.