Saturday, April 30, 2016

නැනෝවිද්‍යාව සහ නැනෝතාක්ෂණය
Nanoscience and Nanotechnology


01. නැනෝතාක්ෂ ගැන සිංහලෙන් ලිවීමේ අවශ්‍යතාවය.


නැනෝතාක්ෂය යන වචනය ශ්‍රීලංකාව තුල බොහෝ සෙයින් භාවිත වන වචනයකි. එසේ වුවද වැඩිදෙනාගේ ඒ පිළිබඳව දැනුම දල අදහසකට සීමා වේ. සමහර කෙනෙකුට ඇත්තේ මේ ගැන විකුර්ති දැනුමකි. මම කොළඹට පැමිණි අවස්ථාවකදී කතා කරමින් යන ගමන් එක කුලී රථ රියදුරෙකු ඇසුවේ නැනෝතාක්ෂනය යනු "නැනෝ කාරය" සම්බන්ධ තාක්ෂනයක්ද යන්න යි. නැනෝතාක්ෂය නිනිති තාක්ෂණය ලෙසද අධ්‍යපන දෙපාර්තමේන්තුවේ සමහර පොත්වල තිබුන බවද මට මතකයක් ඇත. එසේ වුවද මම වඩා කැමති "නැනෝ" වචනයට මිස "නිනිති" යන වචනයට නොවේ. එය හුදෙක් පුද්ගලික කැමැත්තකි. 

ඇත්ත වශයෙන්ම නැනෝවිද්‍යාව සහ නැනෝතාක්ෂණය කුමකැයි නිර්වචනය සඳහා නිවැරදි සම්මත අර්ථදැක්වීම් සොයා ගැනීම ඉතා අසීරුය. මගේ අධ්‍යාපන කටයුතුවලදී අත්‍යවශ්‍ය වූ නිසා ඉතා වෙහෙස වී මේ ගැන සොයන්නට සිදු විය. ඇත්තෙන්ම නැනෝපරිමාණය, නැනෝවිද්‍යාව, නැනෝතාක්ෂනය, නැනෝ ද්‍රව්‍ය, නැනෝ අංශු, නැනෝ සංයුක්ත, සහ නැනෝ ව්‍යුහ යන පද වලට වඩාත්ම පැහැදිලි නිර්වචන ලබාදී තිබෙන්නේ 2006 දී යුරෝපා කොමිසම මගින් නිකුත් කල ලියවිල්ලකිනි. ඒ ලියවිල්ල "මතුවෙමින් පවතින සහ අලුතෙන් සොයා ගන්න ලද සෞක්‍යම අවදානම් තත්වයන් සදහා වූ කමිටුව" 2006 මාර්තු 17 වැනිදා බ්‍රසල්ස් නුවර දී කල සාකච්චාවන් අනුව ඉදිර්පත් කළ එකකි. එම ලියවිල්ලෙදී සඳහා එක්සත් රාජධානියේ ඇති රාජකීය විද්‍යා සංගමය සහ රාජකීය ඉංජිනේරු ඇකඩමිය ලබාදුන් නිර්දේශ සලකා බලා තිබුණි. 2011 ඔක්තෝබර් 18 දින බ්‍රසල්ස් නුවරදීම මෙම කමිටුව නැවත රැස්වී මෙම නිර්දේශ යම් පමණකින් සංශෝධනය කර ඉදිරිපත් කරන ලදී.

එසේ සංශෝධනය කිරීමෙන් පසුව අදටත් වලංගුවන නිර්වචන (මගේ දැනුම අනුව පරිවර්තනය කලවිට)  පහත දැක්විය හැකිය.

නැනෝපරිමාණය: (දිග පළල උස ත්‍රිමාණයෙන් ) අඩුම වශයෙන් එක මානයකවත් නැනෝමීටර් 100 ක් හෝ ඊට අඩුව ඇති වීම වේ.

නැනෝ විද්‍යාව: විශාල පරිමානයේ ද්‍රව්‍ය වලට වඩා බොහෝ සෙයින් වෙනස් ගතිගුණ දක්වන්නා වූ පරමාණුක, අණුක, සහ විශාල අණුක පරිමාණයන් හි ඇති ද්‍රව්‍ය මෙහෙයවීම සහ ඒකී ප්‍රපංචයන් අධ්‍යනය කිරීම වේ.

නැනෝතාක්ෂනය: නැනෝපරිමාණයේ දී විශාලත්වය සහ හැඩය පාලනය කරමින්, ව්‍යුහයන් සහ උපකරණයන් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, සහ ඒවායේ ගති ලක්ෂණ විදහා පෙන්වීම වේ.

නැනෝ ද්‍රව්‍ය (2011 සංශෝධිත): විවිධ පරිමාණයේ ද්‍රව්‍ය පවතින ව්යාප්තියක (ඇති ද්‍රවය වලින්) 50% ක ප්‍රමාණයක්වත්; අඩුම ගන්නේ එක බාහිර මානයකවත් නැනෝමීටර් 1–100 අතර පවතින්නාවූ ද, ඒකරාශී වී හෝ පිණ්ඩයක් ලෙස හෝ නොබැදුණු අංශු ලෙස හෝ  පවතින්නා වු ද, ස්භාවික හෝ ආගන්තුක හෝ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය වේ. 

නැනෝසංයුක්ත: සංයුක්තයේ අඩංගු වන පාර්ශවයන්ගෙන් අඩුම ගන්නේ එක පාර්ශවයක්වත් නැනෝ ද්‍රව්‍ය වන සංයුක්ත වේ.

නැනෝව්‍යුහ: නැනෝ පරිමාණයේ ඇති ව්‍යුහ වේ.



ඇත්තෙන්ම විශාල කාලයක් මිඩංගු කර ලියුවත් මෙවැනි විද්යාත්මක තාක්ෂණික කරුණු, වෙනත් ක්ෂේත්‍ර වල නියැලුණු වෘත්තිකයන්ට හෝ සමනය ජනතාවට පහසුවෙන් පැහැදිලි කිරීම පහසු නොවේ. ඔවුන්ට කෙසේ හෝ අවබෝධ කල ද එයින් ඔවුන් පිනවීමට සමත් වන්නේ ඉතා කලාතුරකිනි. ඊට පැහැදිලි රූපමය නිරූපණයන් ඉදිරිපත් කරමින් මහත් වෙහෙසක් ගත යුතුය. 

අනෙක් අතට ගත් කල, මම තරුණ විද්‍යාඥයෙක් මි. අධික මිලක් වැය වන  අපගේ පර්යේෂණ සදහා අරමුදල් ලැබෙන්නේ සමාගම් හෝ මහජන බදු මුදල් වලිනි. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා අරමුදල් ලැබීම ඉතාම පහල මට්ටමක පවතින බව මම දනිමි. එහෙත් ඉදිරි වසර හෝ දෙක තුලදී මම නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැනෝ තාක්ෂණ පර්යේෂණ කිරීමටද බලාපොරොත්තු වෙමි. ලංකාවේදී ලැබෙන පර්යේෂණ අරමුදල් ගැන දොස් කියන බොහෝ පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ මහජනතාවට අවබෝධ කර දීමට වෙහෙස වන්නේ නැත. සමහර පර්යේෂකයන් සිතන්නේ මහජනයාට ඔවුන්ගේ පර්යේෂණවල වැදගත් කමක් නොතේරුනද, මහජන අරමුදල් තමාට ලැබිය යුතුම බවයි. මම ඊට එකඟ නොවෙමි.

පර්යේෂකයෙකු වශයෙන් මම මගේ පර්යේෂණ ක්සේස්ත්‍රය ගැන සිංහලෙන් ලියන්නට ආසන්නම හේතුව මෙයයි. මම විශ්වාස කරන්නේ අරමුදල් වැඩිපුර ලබා ගැනීමට නම් මගේ පර්යේෂණ සහ ඒවායෙන් මහජනතාවට හෝ යම් සමාගමකට හෝ ලැබෙන ප්‍රතිලාභ සරල බසින් ඔවුනට පැහැදිලි කරදී අරමුදල් ලබාගත යුතුය යන්නයි. එමෙන්ම ඒ බලාපොරොත්තු මත අපට ලැබෙන පර්යේෂණ අරමුදලින් පර්යේෂණ හරි හැටි කැපවීමෙන් සිදුකර මහජන ජීවිත හෝ එකී සමාගම් යන්තම් හෝ ඔසවා තැබීමට විශාල වගකීමක් තිබේ. එකී බලාපොරොත්තු ඉටු නොවන්නේ නම් අරමුදල් බලපොරොත්තු වීම සාධාරණ යයි මම නොසිතමි. මෙසේ, හැකිපමනින් මගේ ක්ෂේත්‍රය ගැන අන් අයට විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

මගේ බලාපොරොත්තුව නැනෝ තාක්ෂණ  පර්යේෂණ සදහා ලෝකයේ මිනිසුන් ලබාදෙන මුදලින් පර්යේෂකයන් ලොවට කරන්නේ මොනවාදැයි කිහිප දෙනෙකුට හෝ මට හැකිපමණින් පහසු අවබෝධයක්  ලබා දීමයි.     

මෙතැන් පටන්, පැහැදිලි රූපමය නිරූපණයන් සමග නැනෝතාක්ෂණය සැකෙවින් සෙමෙන් ඉගෙන ගැනීමට මා සමග එක්වන ලෙස ඔබට ආරාධනා කරමි.  

(පින්තුර අන්තර්ජාලයෙනි.)

Friday, April 29, 2016

සංවාද

සංවාද වල වැදගත් කම

පරම්පරාවක් තවත් පරම්පරාවට තමන් දන්නා දේ කියාදීමට ඇති හැකියාව හෙවත් දැනුම හුවමාරු කරගැනීමට ඇති හැකියාව මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුව සදහා  ඉතා වැදගත් කරුණකි. දැනුම හුවමාරු කරගැනීම සදහා විවිධ ක්‍රම තිබිය හැකිය. එක්පසකට දැනුම ගලායන ක්‍රම මෙන්ම දැනුම දෙපසට ගලායන බෙදා හදා ගන්නා ක්‍රම  මේ කරුණෙහිලා වැදගත් වේ. සංවාද යනු දැනුම දෙපසට ගලායාමට ඉඩදෙමින් දැනුම බෙදා ගැනීමෙහිලා වැදගත්ම වන ක්‍රමයකි. ඒ නිසා මම සිතන්නේ සංවාද යනු මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුව සහ ඉදිරි පැවැත්ම සදහා අත්‍යවශ්‍යම දෙයක් බවයි.

කතා කිරීමේ හැකියාව ඇති අපි හැමෝම වාචික සංවාද ගණනාවක් දවසකට කරනවා ඇති. බ්ලොග් සහ විද්‍යුත් පුවත්පත් වල ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාල වල ලිඛිත සංවාද සැහෙන ගණනක් දවසකට කරනවා ඇති. මේ සංවාද වලදී හැමෝම බලාපොරොත්තු වෙන්නේ දැනුම හුවමාරුවයි.  

කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුද ?

"කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන්නෙහි ඉතිහාස කතාව මම හරි හැටි නොදැනීම ගැන කණගාටු වෙමි. දන්නා කෙනෙකුගෙන් අසා දැනගැනීමටද කැමැත්තෙමි. කෙසේවෙතත්, මම සිතන්නේ නම්, කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නැති බවයි. විශේෂ හැකියාවක් නොමැති නම් "මොලයෙන් මොලයට" දැනුම ස්වයන්සිද්ධව හුවමාරු කරගැනීමට බැරි බව සාමාන්‍ය දිවියේ සැවොම දන්නා කරුණකි. මිනිසුන්ගේ අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රධානම අතුරු මුහුනත් වන්නේ කතාකිරීම හා ලිවීමයි. ලිවීමේදී සහ කතාකිරීමේදී වඩා වැදගත් වන්නේ කුමක්ද යන්න සමහර අයෙකු නොසිතන්නට පුළුවන්. ඇත්තෙන්ම අපි ලියන්නේ හෝ කතා කරන්නේ ඇයි ද යන්න මුලින්ම සිතා බැලීම මෙහිදී වැදගත්.  ලිවීම ගැන මුලින් සිතමු. මම ලිවිය යුත්තේ මට ඕනෑ දේද ? එය ඔවු විය හැකි අවස්ථා මෙන්ම ඔවු විය නොහැකි අවස්ථාද පවතී. උදාහරණයක් ලෙස, අනාගතයේදී තමන්ට බැලීමට ලියනා සටහන් පොතක් විෂයෙහි තමන් කැමති දේ ලිවීම එකී අභිප්‍රාය ඉටු කරයි. නමුත්, අප කතා කරමින් සිටි සංවාද වලට නැවත යොමු වුවහොත්, ලිඛිත සංවාදයකදී ලිවීමේ අභිප්‍රාය වන්නේ වෙනත් අයෙකුට තේරුම් ගැනීම සදහා තම අදහස් විස්තර කිරීමයි. කතා කිරීමෙදී ද තනිකමට තනියෙන් දොඩවන අවස්ථාවක දී හැර, සංවාදයකදී වැදගත් වන්නේ වෙනත් අයෙකුට තේරුම් ගැනීම සදහා පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමයි. (විශේෂයෙන්ම රුපවාහිනී වල මම දැක ඇති) සමහර සංවාද කරුවන් තමුන් දන්නා දේ හිතේ හැටියට දෙසාබෑමෙන් සංවාද කල කල බව සිතයි. නමුත් සැබෑවටම ගත් කල එය කතා කිරීමක් නොව හුදෙක් දිව ඇඹරීමකි (tongue twisting).  ලියවිල්ලක දී නම් කියවන්නාට තේරුම් ගත නොහැකි නම් එය හුදෙක් කුරුටු ගෑමකි. මම සිතන්නේ අප හැම දෙනාගේම අරමුණ දිව ඇඹරීමට හෝ කුරුටු ගෑමට නොව ලිඛිත සහ වාචික සංවාද තුලින් දැනුම හුවමාරු කරගැනීමටයි.


සාර්ථක ලියුමක්


සාර්ථක ලියන්නෙකු වීමට නම් සෑම විටම කියවන්නාගේ පැත්තෙන් සිතා බැලීම අතිශයින් වැදගත් වේ යයි මම සිතමි. යමක් ලියු පසු එය ලිව්වේ තමන් බව අමතක කර කියවා බැලිය හැකි නම් වඩා වටී. මේ ලියන්නේ කියවන්නා වෙනුවෙන් බව ලියන සෑම විටකම නැවත නැවත මෙනෙහි කිරීම සාර්ථක ලියවිල්ලකට හේතු වේ. 

රුපවාහිනියේ වාචික සංවාද

කතා කිරීමේදී ලිවීමේදී මෙන් අපට නැවත සිතා බැලීමේ අවස්ථාව නොලැබේ. සාර්ථක වාචික සංවාද කරුවෙකු වීමට නම් ඇත්ත වශයෙන්ම ඒ ගැන පූර්ව සිතා බැලීමක් අත්‍යවශ්‍ය වේ. වාචික සංවාද බොහෝ විට පදනම් වන්නේ ප්‍රශ්ණ – උත්තර සහ තර්ක – විතර්ක මතයි. ම දන්නා තරමින් නම්, ලැබෙන සීමිත කාලයෙන් ඵලදායී සංවාදයක් කිරීමට කරුණු කිහිහිපයක් වැදගත් වේ. සම්පත් දායකයන් ගෙන්වා ගන්න බොහෝ රුපවාහිනී සංවාද වල අවසානයේදී, "ඔබ සමග බොහෝ දේ කතා කරන්නට තිබුනත් කාල වෙලාව අපට හරස් වෙනවා, ආයුබෝවන්", යන වචන බොහෝ දෙනකුට කටපාඩම් වී ඇතුවාට සැකයන් නැත. නමුත් බොහෝවිට එම සංවාද අවසානයේ බලාසිටින අපට බොහෝවිට හැඟෙන්නේ ලැබූ කාලයේදී පවා කිසිම වැදගත් දෙයක් කතානොකල බවත් තවත් කාලය තිබුනත් වෙන්නේ ඒ ටිකම බවත් ය.

සමහර සංවාද වලදී වෘත්තීයවේදී සම්පත් දායකයන් ගෙන්වාගත්තද එම සංවාද මෙහෙයවන්නන් එකී සංවාද වල හරය සහමුලින්ම විනාශ කරදමන්නේ ප්‍රශ්න පමණක් අසමින් ඒවාට පිළිතුරු දීමට ඉඩ නොදෙමින්ය. තවද, වාද විවාද සංවාද මතවාද ගොඩනගනවා යයි කියාගන්නා දේශපාලන සංවාද කරුවන් සමහරුන් සිතනවා ඇත්තේ අනෙක් පුද්ගලයාගේ කතා කිරීමට බාධා කිරීම සංවාද කිරීමක් හැටියට විය හැකියි. ප්‍රශ්න ඇසු විට පිළිතුරු දීම හෝ එම ප්‍රශ්නයට තමන් පිළිතුරු නොදන බව කීම වෙනුවට වල්පල් කියවීමද අපේ දේශපාලකයන් සංවාද යයි සිතා සිටිනවා හැකියි. අනෙක් අතට ගත්  කල, මෙවැනි වැඩසටහන් වල ප්‍රශ්න ඇසීමට සිටිනවා යයි කියනා මාධ්‍යවේදීන් යයි කියාගන්න පුද්ගලයන්ද ප්‍රශ්න වෙනුවටය ඔවුන්ගේ දීර්ග දේශනා ඉදිරිපත් කරයි. අවසානයේ පිළිතුරු වලට වඩා දිගු වන්නේ ප්‍රශ්නයි. මේ කරුණෙහි ලා, මා දුටු කණගාටුදායක ම සිදුවීම නම් 2014 ඔක්තෝබර් මස හෝ ඒ ආසන්නයේදී, දේශපාලන වැඩසටහනක නරබන්නෙකු ලෙස පැමිණි රජයේ විශ්වවිද්‍යාලයක උපකුලපති වරයෙකුද, ප්‍රශ්න ඇසීමට දුන් අවස්ථාවේදී අදහසක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔබ අසන ප්‍රශ්නය කුමක්දැයි ඇසු විට, ප්‍රශ්නයක් ඇසීමට නොමැති බව පැවසීමයි. 

සාර්ථක වාචික සංවාද කරන්නේ කොහොමද ?

තවත් කරුණක් නම්, ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී අප බොහෝ විට හුරු වී ඇති ආකාරයයි. අප බොහෝ විට හුරු වී ඇත්තේ කරුණු දැක්වීම අවසානයේ නිගමනය ලෙස ඔවු හෝ නැත යන්න හෝ වෙනත් යමක් පැවසීමටයි. නමුත් මෙවැනි පිළිතුරක් අවසානය තෙක්ම අසාසිටින්නාගේ පැත්තෙන් ඇසෙන්නේ ඝෝෂාවකි. මන්ද පිළිතුරේ කරුණු මගින් ශක්තිමත් කරන්නේ කුමන අදහසක්දයි පැහදිලි නොවන නිසාය. මෙවැනි පිළිතුරු බොහෝවිට අසාසිටින පිරිස ඉච්ඡාභංගයට පත් කරයි (audience frustration). උදාහරණයක් ලෙස, හැන්දවකදී ඔබේ මිතුරෙකු කෑමක් මිලදී ගෙන එන විටදී ඔබට හමුවන අවස්ථාවක් ගැන සිතමු. ඔබ මේක කොහෙන්ද ගත්තේ යයි අසනවා යයි සිතමු. ඔහු උදේ නිවසින් පිටවූ මොහොතේ සිට ගිය හැමතැනකම තොරතුරු කියා අවසානයේ ඒ එන ගමන් මේක අර අතන පේන කඩෙන් ගත්තා යයි පිළිතුරු දෙනවා නම් එම පිළිතුර අසාගෙන සිටීමට ඔබට කොතරම් පහසුතාවයක් දැනෙනවද යන්න ඔබට පැහැදිලි ඇති. වාචික සංවාද වලදී තවත් වැදගත්ම කරුණක්ම නම් ප්‍රශ්නය හරි හැටි පැහැදිලි නොවෙන විටදී ප්‍රශ්නය අනුමාන කර පිළිතුරු දීමයි. මෙවැනි අවස්ථාවක අනුමානය වැරදි නම්, "යන්නේ කොහෙද? මල්ලේ පොල්" වැනි විකාරරූපී ජවනිකා ලෙස බලා සිටින්නන්ට පෙනේ. ප්‍රශ්නය හරි හැටි පැහැදිලි නොවෙන විටදී නැවත ප්‍රශ්නය අසා පැහැදිලි කරගැනීම කාලය නාස්තියක් නොව කාලය ඉතිරි කරගැනීමකි. එමෙන්ම සභාවකදී නම් තමන්ගේ ප්‍රතිරූපය ද ආරක්ෂා කරගැනීමකි.       

සාරාංශය
ලිඛිත සහ වාචික සංවාද යනු අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයන්‍ය. ලිඛිත සංවාදයකදී නම්, ලිව්වේ තමන් බව අමතක කර නැවත කියවා කියවන්නාගේ පැත්තෙන් සිතා බැලීම පැහැදිලිව අදහස් හුවමාරුව සදහා හොද ක්‍රමයකි. වාචික සංවාදයකදී ප්‍රශ්න අසන විට ප්‍රශ්නයට පෙර දීර්ග අදහස් දැක්වීම හොද ප්‍රශ්නයක වුවද වටිනාකම අඩු කරයි. ප්‍රශ්නයකට පිළිතුරු දෙන විට ඔවු හෝ නැත හෝ වෙනයම් නිගමනයක් හෝ මුලින් පවසා ඒ නිගමනය ශක්තිමත් කිරීම සඳහා තවත් පැවසිය යුතු යම් දෙයක් වේ නම් පැවසීම උචිතය. ප්‍රශ්නය පැහැදිලි නොවන විටකදී ප්‍රශ්නය පැහැදිලි කරගෙන පිළිතුරු දීම හැම අතින්ම යහපත්ය. පිළිතුරු දීමට අකමැති හෝ පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකදී අනවශ්‍ය දේ කීමෙන් තොරව ඒ පිළිබඳව පිළිතුරු දීමට නොහැකි බව කීමෙන් පෙනෙන්නේ ඔබේ පරිණත බවයි.