Sunday, August 21, 2016

විවිධ හේතු නිසා මම කැමති වන; කැමතිම ගීත 12

සංගීතයට බොහෝ මිනිසුන් ප්‍රිය කරති. මා හට බ්ලොග් ලිවීමට මුලින්ම යෝජනා කල ඉයන්ගේ අඩවිය නමැති බ්ලොග් පිටුව මගින් කැමැති ගීත 10 තේරීමට ගොස් කැමති ගීත 16ක් තෝරා තිබුණි. ඔහුගේ අභියෝගය බාරගත් වෙනත් බ්ලොග් කරුවන්ද තමන් කැමති ගීත ගැන ලියා තිබුණි. ඒවා කියවන විට මම අසා නොතිබූ ගීත වෙතද, අසා තිබු නමුත් යම් කලෙක ආකර්ශනයක් ඇති නොවූ ගීත වෙතද නවමු ආකර්ශනයක් ඇති විය. බ්ලොග් ලිවීමේදී වැදගත්ම පුද්ගලයා වන්නේ ලියන ඒවා කියවන්නා බව සිතන බැවින් කියවන්නාගේ කාලයේ වැදගත් කමට ගරු කරමින් ලිවීමට කියවීමට තරම් වැදගත් යමක් ලිවීම මගේ ස්ථාවරය බැවින් මගේ පුද්ගලික කැමති අකැමති දේ ගැන හැකි පමණ අඩුවෙන් ලිවීමට සිතුවෙමි. කෙසේ වෙතත් කැමති ගීත සම්බන්ධ කරුණේ දී අන් අයගේ කැමති ගීත ඇසීමෙන් ලුත් යමක් දැනගත් බැවින් මම කැමති ගීත ගැනද මෙසේ සටහනක් තබමි. පහතින් සදහන් වන්නේ මම කැමති ගීත ද ඒවාට කැමති වීමට හේතුවූ අදහස් සහ අත්දැකීම් වේ.

01. දසිස් දිනා රුපු රජුන් නසා

මගේ අදහස නම් මෙම ගීතයෙන් කියවෙන අදහස් අතර, දීර්ඝ කාලීනව ලුහුබැඳ යමක් ලබාගැනීමෙන් පසුව සිතට ඇතිවන හිස් බව ගැනද ලියවී ඇති බවයි. එහි මනෝවිද්‍යාත්මක පසුබිම එතරම් නොදන්නා නමුත් එය ඉතා සංකීරණ සිතුවිල්ලක් බව පෙනේ. නවීන ලෝකයේ උත්සුකව ජීවත්වන අපි අරමුණු ලුහු බදින්නන් වෙමු. මා කුඩා සිසුවෙකු කල සිට ලුහුබැඳ ගියේ අධ්‍යාපනයයි. මුලික උපාධියේ අවසන් විභාගයේ අවසන් ප්‍රශ්නපත්‍රය ලියන විටද, වෙනත් සැලසුමක් මා සතුව නොතිබුණි. උපාධියේ සියලු විභාග සාර්ථකව අවසන් කිරීමෙන් පසුව මට දැනුනේ දීර්ඝ කාලීනව ලුහුබැඳ යමක් ලබාගැනීමෙන් පසුව සිතට ඇතිවන හිස් බවයි. ඒ ගැන කියවෙන මේ ගීයට මම බොහෝසෙයින් ප්‍රිය කරමි. 

අදින් මතුව යලි සටන් වදින්නට රජෙක් නොමැති සිහ අසුන් අරා,
සුසුම් නලින් මිස සිතින් බෑර නොව හිදීම් මගේ දුක කිරුළ දරා !!





මගේ ජීවිතයේ මුහුණ දුන අවසාන අධ්‍යාපන පරීක්ෂණය වූ ආචාර්ය උපාධියේ අවසන් විභාගයෙන් පසු මට කිසිදු හිස් කමක් නොදැනුනේ හැගීම මත තීරණ ගන්න මිනිසා වෙනුවට ඒ වනවිට මා තුල සිටියේ තර්කනය මත තීරණ ගන්නා මිනිසෙකු නිසා බව සිතමි. තරඟකාරීව අරමුණු ලුහුබැඳ ගොස් ලබන්න ගන්නා ජයග්‍රහණ සමග ලැබුන සතුරන් ද එලෙසින් පිළිගැනීමේ ශක්තිය මිනිසෙකුට ඉතා වැදගත් බව මම සිතමි.

02. සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා

මේ ගීතයේ කියවෙන්නේ දරුවන්ගේ ප්‍රේමයට එරෙහි වන දෙමවුපියන් වෙත දරුවන් විසින් කෙරෙන ආයාචයකි. දරුවන්ගේ ප්‍රේමයට එරෙහිවීම කුල ගෝත්‍ර, පරම්පරාවෙන් එන මිල මුදල් හෝ නොදන්නා ජෝතිෂ්‍ය අනාවැකියක් නිසා විය හැකිය. තම කාලයද මිල මුදල්ද කැප කරමින් දරුවන්ට උගන්වා ඔවුන් උපාධිදාරීන් පශ්චාත් උපාධිදාරීන් බවට පත් කල පසුත් දරුවන්ට තම ජීවිතය ගැන නිවැරදි තෝරාගැනීමක් කල හැකි යයි දෙමවුපියන්ට විශ්වාසයක් නොමැති නම් එය ඛේදවාචකයකි. එක්කෝ එය අපේ අධ්‍යාපන ක්‍රමයේ අසාර්ත භාවය පෙන්වන හොඳ උදාහරණයකි. එසේ නොමැති නම් දකුණු ආසියාව තුල දෙමවුපියන් දරුවන්ගේ පුද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම මනාව පෙන්වන එක් අප්‍රසන්න උදාහරණයකි.

සැනසී හිදින්නේම්ද ඇගෙ දුක බලා දැන්,
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන් !!

යනුවෙන් කෙරෙන්නේ ඉල්ලීමක් වුවද;

මගේ ජීවනේ ගීයේ ඇගෙ හඬ නොවේ නම්,
හද වෙනෙහි සත්සර සදා ගොළු වුණා දෙන්!!

යනුවෙන් මේ ගීතයේ දැක්වෙන්නේ දෙමවුපියන්ට කෙරෙන එක්තරා තර්ජනයක්ද විය හැකිය.

දරුවන් හැදිය යුත්තේ ඇයිද යන්න පැහැදිලි වැටහීමක් නොමැතිව අනුන් දරුවන් හදන නිසාත්  ජීව විද්‍යාත්මකව  දරුවන් හදන්නට හැකියාව ඇති නිසාත් දරුවන් හැදු දෙමවුපියන්ට හොඳ පණිවුඩයක් මෙම ගීතයෙන් සපයන බව මම සිතමි. දරුවන් යනු දෙමවුපියන් වැනිම මිනිස්සු මිසක් දෙමවුපියෝ සතුටු කරන්නට බැදී සිටින සත්ව කොට්ටාශයක් නොවෙති. දරුවෝ හැදිය යුත්තේ මිනිසෙක් වශයෙන් ඉපදී ජීවත් වීමට අපිට ලැබුන අවස්ථාව තව කෙනෙකුට ලබාදීමේ යුතුකම සහ වගකීම නිසාම මිසක්, අපේ බලාපොරොත්තු දරුවෝ ලවා ඉටුකරගැනීමේ අභිලාෂයෙන් නොවෙන බව මගේ සිතිවිල්ලයි.

මම මේ තත්වයට මුහුණ දුන්නේ ප්‍රේමය සම්බන්ධව නොව මගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙනි. මගේ පවුලේ උගත් සාමාජිකයන් මම දර්ශන විශාරද උපාධියක් හදාරනවා දකින්නට එතරම් කැමති නොවුහ. ඔවුන්ට වුවමනා වුයේ මම ඔවුන් වැනි සීමාසහිත දෛනික රාමුවකට කොටුවූ රාජ්‍ය සේවකයෙකු වී සිටිනු දැකීමයි. මගේ පුද්ගලික ස්වාධීනත්වය සෑම විටම අංක එකට තබන මම; මගේ තේරීම නිවැරදි බව සිතමින් සියලු අභියෝග වලට මුහුණ දෙමින් පැමිණ සාර්ථක වුයෙමි.




උගත් වැඩිහිටි දරුවන්ගේ තීරණ වලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන දෙමවුපියන්ට හොඳ පණිවුඩයක් මෙම ගීතයෙන් දෙන බව මම සිතමි. මම ඊට ප්‍රිය කරමි.


03. නගර-ගව එන්කා

දර්ශන විශාරද උපාධිය හැදෑරීමට මම පැමිණියේ ජපානයටයි. ජපානයේ සංස්කෘතික අංගයන්ට මෙන්ම ජපන් සංගීතයටද මම ඇලුම් කරමි. එන්කා (enka) නමැති සම්භාව්‍ය ජපන් ගීත විශේෂයට මම ඉතා ප්‍රිය කරමි.  මම ප්‍රිය කරන ඉංග්‍රීසි උපසිරසි සහිත එක් එන්කා ගීතයක් මෙහි දක්වමි. එහි කියවෙන්නේ "උකයි" යනුවෙන් හැදින්වෙන, කුරුල්ලන් යොදාගෙන මාළු ඇල්ලීමේ ක්‍රමයට ඉතා ප්‍රසිද්ධ ජපානයේ ගිෆු පළාතේ "නගර ගව" නම් නදිය ආශ්‍රිතව සංචාරයට එන සංචාරකයෙකු සහ තානායමක සේවය කරන තරුණියක අතර ඇතිවෙන එක් රැයකට සීමා වූ ප්‍රේමයකි.






"උකයි" ක්‍රමයට මාළු ඇල්ලීමට මෙන්ම මෙම එන්කා ගීයටද මම බොහෝ සේ ප්‍රිය කරමි.  

04. Every night in my dreams


1990 දශකයේ අග භාගය වන විට අපේ රටේ ජනප්‍රිය වූ ඉංග්‍රීසි චිත්‍රපටයක් වන ටයිටැනික් චිත්‍රපටයේ අඩංගු මෙම ගීතය එවකට නවයොවුන් වියේ සිටි අපට ප්‍රේමය පිලිබඳ මුල්ම හැගීම් දැනවූ ගීයකි. මම ඊට බොහෝ සේ ප්‍රිය කරමි.



කෙසේ නමුත්, අදටද මම වඩාත් ප්‍රිය කරන්නේ සිංහල ගීත වලටයි. මම කැමති සිංහල ගීත ඇසීමෙන් මම බොහෝ සේ සතුටු වෙමි. නමුත් මම සංක්‍රමණය වී සිටින තෙක්, මට දරුවන් සිටින දිනෙක ඔවුන්ටද සිංහල ගීත ඇසීමෙන් ම‍ම ලබන සතුට ලැබිය හැකි බවක් මම නොසිතමි. මෙය පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් ප්‍රවේශමෙන් සිතිය යුතු කරුණකි.


05. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න


නවයොවුන් වයසට එන විට ප්‍රේමය යනු හැමටම දැනෙන සුන්දර අත්දැකීමක්. මට ඒ හැගීම දැනෙනකොට මම පාසලේ 8 වසරේ ශිෂ්‍යයෙක්. එක ඇතිවෙලා නැතිවෙලා ගිය හැගීමක් නොවුන වසර 3ක පමණ ප්‍රේමයක්. ඇයත් මමත් පාසල් ගියේ එකම පාසල් වෑන් රථයක. කතා කරන්නත්, ටිකක් ලග හිටියොත් සුවඳ විඳින්නත්, උපරිම වශයෙන් අතින් අල්ලනත් එහාට නොගිය මේ ප්‍රේමනීය හැගීම් එක්ක තමයි ළමයින් වුන අපි තරුණයන් බවට පත්වෙන්නේ. එකදවසක් ඉස්කෝලේ ගිහින් ඇවිත් හවසට ගෙදර වැඩ ඉවර කරලා සෙල්ලම් කරලා ඇවිත් ගෙදර තිබෙන නිස්කලංක පරිසරයේ ඉදගෙන ඇය ගැන හිතන මොහොතක දී ගුවන් විදුලියේ ජාතික ක්‍රීඩා විකාශනයේ ඇසුන මේ ගීතය ඇසෙන විට මට අදටත් දැනෙන්නේ වචන වලින් විස්තර කරන්න අපහසු අතරමං වුන හැගීමක්.

සත්තකයි මම ඔබ එතැයි සිතුවා   !!


මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බවයි මම හැමදාම විශ්වාස කරන්නේ.

06. මුළු හදින් මම ඇයට පෙම් කර


ඇය මට ආදරය කලාද නැතිද කියන කියන එක අදටත් පැහැදිලි නෑ. ඇය එකල පිරිමි ළමුන් බොහොම දෙනෙකුගේ පුදුම ආකර්ෂණයකට ලක්වුණ ගැහැණු ළමයෙක්. ඒ නිසා ඇයගේ ආදරය තමුන් දිනාගත් බව වෙනත් අය ඇවිත් කියන එක බොහොම සුලබ බොරුවක් බව මමත් මගේ යාළුවොත් දැනගෙන හිටිය. මේවගේ දේවල් වලට නව යොවුන් තරුණයන් අතර ඇතිවෙන සුළු ගැටුම් බොහොම සාමාන්‍ය දේවල් විදියට මම දකින්නේ. ඇත්තටම කිව්වොත්, දුර්වල පෞර්ෂයක් තිබුන ළමයෙක් වුන මම තරුණයෙකු වන විට ජීවිතේ බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න ඉගෙනගත්තේ මේ දේවල් තුලින්. මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අවුරුද්දේ එක පාසල් නිවාඩුවක අපිට විද්‍යාව අමතර පන්තියක් තිබුන අපේ පාසලේ. ඇයගේ පාසලෙත් එවැනි පන්තියක් තිබුන නිසා ඇයත් නිවාඩු කාලේ නගරයට ආවා. එක දවසක් අපිට අවුරුදු කිහිපයක් වැඩිමල් යාළුවෙක් මට කතා කරලා කිව්වා ඔහු ඇයගේ අදාරය දිනාගත් බව. එහෙම කතා අනන්ත අහපු මම ඒක එතරම් ගණන් ගත්තේ නැති වුනත් පැයකට පමණ බස් නැවතුමේ හිටි පසු මම දැක්කේ බස් රථයක ඇයත් ඔහුත් අත් අල්ලගෙන යන හැටි. මට කරන්න තිබුන එකම දෙය ඇය ඔහුට අයිති වෙන හැටි බලාසිටින එක. මගේ වටේ තිබුන මුළු ලෝකයේ සියලු දේ විනාශ වෙලා ගිහින් මමත් මට අනුකම්පා කරන යාළුවො කිහිප දෙනෙකුත් පමණක් ඉතුරු වුන බවයි මට ඒ වෙලාවේ දැනුනේ. 

එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක,
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක !!




ඒ වෙලාවේ දැනුන හැගීම  මට අදටත් අපැහැදිලියි. වසර ගණනාවක් ගියත් බොහෝ දේවල් අමතක කරන්නට බැරි කෙනෙකු වෙන මගේ මතකයේ තවමත් ඒ මතකය තිබෙනවා. මේ ගීතයට මම කැමති වෙන්න එය එක හේතුවක්.  

07. දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ


මගේ මතකයේ හැටියට මේ ගීතය ගායන කරන කලේ අප්සරා ද සිල්වා පාසල් ශිෂ්‍යාවක්. ගීතය නිර්මාණයේදී බොහෝ වැඩ කොටසක් කර තිබුනේ පාසල් සිසුන් බවයි මගේ මතකය. සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුන වෙනස් විශිෂ්ඨ ගීතයක් වෙන මෙය අමතක නොවෙන ගීයක්. අප්සරා ද සිල්වා බොහෝ ගීත ගායනය කර තිබෙනවා ද යන්න මට ගැටළුවක්. 

හිනහ වෙවී අපි නැටුවට පොලවට වෙහෙස දැනෙනවාද,
කදුලැලි දහඩිය ගැලුවට මහ කළු ගල් දියවෙනවාද,
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද,
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද,
ඉවාන් පවුලුශා !!





08. මේ ගඟ මේ දුරු කතර ගෙවා

එච් එම් ජයවර්ධන ශුරීන්ගේ තනුවල තිබෙන ශක්තිය හරිම වෙනස්. මේ ගීතයට ඔහු නිර්මාණය කල තනුව හරිම පුදුමයි. මේ ගීය අහන විට මට හිතෙන්නේ මේ තනුව ගඟක් ගලායන සුමට රළු අවස්ථා පසු කරමින් යන බවයි. මගේ මිතුරෙකුත් සමග එක්වී මෙම ගීතයේ තනුවට ගණිතමය මොඩලයක් නිර්මාණය කරන්න උත්සාහ කලත් එය කිරීමට අපහසු වුනා.




මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ළඟ නතර වුණේ!

අවංක අදාරණීය හඬකින් එය ඔබ වෙනුවෙන් අසන්නට ලැබෙනවා නම් ඔබ වාසන්වන්තයෙක් බවයි මම සිතන්නේ.  

09. ඔබ දුටු ඒ මුල්දිනේ

මේ ගීතය බොහෝ පැරණි එකක් වුවත් ජනප්‍රිය වුණේ මෑතකදී බවයි මම හිතන්නේ. ප්‍රේමවන්තිය මුලින්ම මුණගැහුණු දිනය බොහෝ දෙනෙකුට විශේෂ මතකයක්. මම මේ ගීතයට කැමති වන්නට අනෙක් හේතුව වන්නට හැකි වන්නේ සාදයකදී මට එය ඉතා පහසුවෙන් ගායනය කිරීමට ඇති හැකියාව නිසා බවත් මම හිතනවා.

නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ !!





10. විනේ කටින උන් තරහක් නොකියාම

අපේ රටේ සංස්කෘතිය තවම බොහොම සංවෘත එකක්. එහිදී වැන්දඹු කාන්තවන් බොහෝ සෙයින් අසරණ වෙනවා. ළඟදී අහන්ට ලැබුනේ ඇඹිලිපිටිය පොලිසිය විසින් මරා දැමුවා යයි කියන තරුණයාගේ බිරිඳට දැන් අත්වී ඇති ඉරණම. පොලිසියට විරුද්ධව ප්‍රකාශ දුන් තරුණයක් බොහොමයක් මත කුඩු ළඟ තබාගත්තා යයි නඩුවලට පැටලී ඇති බවත් දැනගන්නට තිබෙනවා. මාර්ග නීති ආරක්ෂා කරනවා වෙනුවට සැඟවී සිට වරද කරනතුරු බලා සිට දඩ ලියන ගමන් අනතුරු වලක්වන්නට පාරේ පිරිත් කියන පොලිසියකින් මීට එහා ගිය දෙයක් බලාපොරත්තු වීමත් විහිළුවක්. පොලිසිය හැමවිටම පොලිසියේ වැරදි වසමින් ආරක්ෂා කරනවා. වෛද්‍යවරු හැම විටම රෝහල්වල වැරදි වසමින් රෝහල් සේවකයන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කරනවා. ගුරුවරු සෑම විටම පාහේ පාසල් වල සිදුවන අකටයුතුකම් වසමින් ගුරුවරු ආරක්ෂා කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු හැම විටම පාහේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ආරක්ෂා කරනවා. යහපාලනයක් සඳහා පත්වූ ජනපතිවරයා කියන්නේ වංචා දුෂණ හෙළිකරන්නේ අලුත් පක්ෂයක් පිහිට වුවොත් බවයි. මුළු රටේම ක්‍රමය අතිශය දුෂණය වෙලා. මේ විදියට මේ රාජ්‍යය කඩා නොවැටී කොතරම් දුර යන්න පුලුවන්ද කියන එක අනාගතය පවසාවි.

හැමෝම උත්සහ කරන්නේ මහා සංස්කෘතියකට මුවාවෙමින් හොරෙන් වැරදි කරන්න. මේ රෑ දනියෙල් දවල් මිගෙල් කතාව මේ ගීතයේ හොදින් විස්තර කෙරෙන්නේ,

ගමේ ගැටවු කරබාගෙන උන්නාට,
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට,
නෙලා ගනින් යයි කප්රුක පිදුවාට,

ඉනේ රෙද්දමයි හිටියේ හරහාට!!



දුප්පත් නුගත් මිනිසුන් සදාකාලිකව පාගා තබාගනිමින් තමුන්ගේ බලය රැකගන්නට හදන මේ සමාජයේ මීට වඩා සාධාරණයක් දකින්නට ලැබේ යයි සිතන්නට අමාරුයි.  


11. අඩු කුලේ කියාලා අසරණයා

අද වන විට රටේ කුල භේදය බොහෝ විට අඩු වී ගොසින්. නමුත් ඒ වෙනුවට මේ රටේ දැන් මතුව තිබෙන්නේ නිලධාරීවාදය. උසස් පෙලින් රාජ්‍ය විශ්විද්‍යාලයකට යන්න බැරිවුණ මිනිසුන් මෝඩයන් සේ සලකමින් සදාකාලිකව නුගතුන් ලෙස තැබිය යුතුය කියා කියන මිනිසුන් මම අද සම කරන්නේ එදා අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්න හදපු වසලයන්ටයි. වංශයෙන් හෝ කුලයෙන් බමුණෙක් හෝ වසලයෙක් නොවෙනවා වගේම, උසස් පෙළ ප්‍රතිඵල වලින් පමණක් මිනිසෙක් උගතෙක් හෝ මෝඩයෙක් නොවෙන බව මගේ විශ්වාසයයි.




පුහුමානය හර්දේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ,
යුතුකම් සුසිරි මග නොමදන්නේ ඔහු නොවේද මේලෝකේ වසලයා!!

එදා රදලයන් සේ අද හැසිරෙන නිලධාරීවාදී වසලයන්ට අදටත් මේ ගීතය වලංගු බවයි මම සිතන්නේ. 



12. වලා අතුල සිරි යහනේ


දල රල පෙළ ටෙලි නාට්‍යයේ අඩංගු වුන මේ ගීතය මම මුලින්ම අහන්නේ විශ්විද්‍යාලයේ පළමු වසරේ ඉන්න කාලේ සාදයකදී අපේ ජ්‍යෙෂ්ඨයෙකුගේ කටහඬින්. එහි ශෛලියට මෙන්ම සංගීතයට මම බොහෝ සෙයින් කැමතියි.

හෙටක් ගැන යමක් නොදකින 
හෙටක් තිබේදැයි නොසිතන 
කෙනෙක් මධූ  විතක් තොල් අග
තවර ගන්නවා !!





හෙටක් ගැන යමක් නොදකිමින්, හෙටක් තිබේදැයි නොසිතමින් මධුවිත තොල් අග තවරාගන්න ඉන්ද්‍රචාප කුමාරයා ගැන කියවෙන; මා සතුවද ඇති සමහර චරිත ලක්ෂණ වලට ඇති කැමැත්ත නිසා මම ඊට බොහෝ ප්‍රිය කරනවා.


මම කැමති ගීත බොහෝ තිබෙන නමුත් මම කැමතිම ගීත ලෙස මෙම ගීත 12 මට තෝරා ගත හැකිය. අවස්ථාවන් තිබුනද අවශ්‍ය විටදී පමණක් ඒ අවස්ථාවන් යොදාගැනීම මම ගුරුවරුන්ගෙන් ලැබූ පුහුණුවයි. ගී 16 තේරීමට ඉඩ තිබුනද මම කැමතිම ගී 12 තෝරා ගැනීමෙන් මම සෑහීමට පත්වෙමි. 



Tuesday, August 16, 2016

නියුටෝන ප්‍රෝටෝන හැදෙන හැටි සරලව කියන නයෂ්ඨික භෞතික විද්‍යාව Particle Physics



පදාර්ථයේ ජීවීන් වන අපට පදාර්ථය ගැන අධ්‍යනය කිරීම ඉතා වටී. අපේ ශරීරය සැදී තිබෙන්නේ පරමාණු එක්වීමෙන් බව බොහෝ දෙනා දන්නා සරල කරුණකි. පරමාණු සැදී තිබෙන්නේ න්‍යෂ්ටියක් සහ ඒ වටා ඇති ඉලෙක්ට්‍රොන වලාවකිනි. පරමාණු න්‍යෂ්ටියේ ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනයි. පරමාණුව වටා ඇති ඉලෙක්ට්‍රෝන වලාවේ වෙනස්වීම් මගින් ඇතිවෙන රසායනික ක්‍රියාදාමයන් බොහොමයක් රසායන විද්‍යාව යටතේ අධ්‍යනය කෙරේ. පරමාණුවේ න්‍යෂ්ටියේ සිදුවෙන වෙනස්කම් බොහෝවිට අධ්‍යනය කෙරෙන්නේ න්‍යෂ්ටික භෞතිකවිද්‍යාව යටතේය. පරමාණු වල න්‍යෂ්ටිය සැදී ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනවලින් බව බොහෝදෙනා දන්නා නමුත්; ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සැදී ඇත්තේ මොනවයින්ද යන්න ගැන සිංහලෙන් ලියවී ඇති ලිපි ප්‍රමාණය ඉතා අඩු බව පෙනීයන බැවින් ඒ ගැන ලියා තැබීම වටින බව පෙනේ.



භෞතික විද්‍යාවේ මුලික අංශු (elementary particles) දෙවර්ගයක් කතාකරයි. එනම් ලෙප්ටෝන (Lepton) සහ හැඩ්‍රෝන (Hadron) එම දෙවර්ගයයි. ලෙප්ටෝන ස්කන්ධය අඩු  සැහැල්ලු අංශු වන අතර හැඩ්රෝන ස්කන්ධය වැඩි බැර අංශු වේ. ලෙප්ටෝන වර්ග 6ක් ගැන මුලික අංශු පිලිබඳ බහුතික විද්‍යාවේ කතාවේ. ඒවා නම්, ඉලෙක්ට්‍රොන (electron), මියුඕන (muon), ටෝ (tau) සහ ඒවාට අනුරූප නියුට්‍රිනෝ (neutrino) වන ඉලෙක්ට්‍රොන නියුට්‍රිනෝ, මියුඕන  නියුට්‍රිනෝ, ටෝ නියුට්‍රිනෝ වේ. 1987 වර්ෂයේ පළමු සුපර්නෝවා පිපිරුම නිරීක්ෂණය කල ජපන් විද්‍යාඥ කණඩායමක් විසින් නියුට්‍රිනෝ වල භෞතික පැවැත්ම අනාවරණය කරගන්නා ලදී.


හැඩ්‍රෝන සැලකූ විට, ඒවා සැදී තිබෙන්නේ ක්වාර්ක් (Quark) නම් අංශු කිහිපයක් එක්වීමෙන් බව නුතන න්‍යෂ්ටික භෞතික විද්‍යාව කියයි. නමුත් ක්වාරක් අංශු එකිනෙකින් වෙන් කිරීමට හැකියාවක් තවමත් නොමැති බැවින් ක්වාර්ක් වල බහුතික පැවැත්ම පර්යේෂණාත්මකව තහවුරු කර නැත. ක්වාරක් එකිනකින් වෙන්කර ගැනීමට අවශ්‍ය ශක්තිය ඉතාම අධික වේ. ඒ කොතරම්ද කියන්නේ නම්, ඒ ශක්තිය පදාර්ථ අංශුවක් (particle)-ප්‍රති පදාර්ථ අංශුවක් (anti particle) එක්වී සෑදෙන යුග්ම අංශුවක් නිපදීමට (pair production) අවශ්‍ය ශක්තියටද වඩා වැඩිය. ක්වාර්ක් අංශු වෙන්කිරීමට අවශ්‍ය ශක්තිය යෙදීමට පෙර, ඒ ශක්තිය පදාර්ථය බවට පත්වෙන බැවින් ක්වාර්ක් වෙන්කිරීම සිදුකල නොහැකි බව පෙනීයයි.


ක්වාර්ක් වර්ග 6ක් පවතී. Up (u), Down (d), Charm (c), Strange (S) Top (t), Bottom (b) යනු ඒවායි. මේ ක්වාර්ක් වර්ග 6 හි ප්‍රති-ක්වාර්ක් (anti quark) වර්ග 6ක් ද තිබේ. උදාහරණයක් ලෙස, u හි ප්‍රති ක්වාර්ක් අංශුව ū ලෙස හදුන්වයි. ක්වාර්ක් වල විද්‍යුත් ආරෝපණ සලකු විට u = +2/3, d = -1/3 c = +2/3 s = -1/3, t = +2/3, b = -1/3  ලෙස වේ. ū හි ආරෝපණය u ට ප්‍රතිවිරුද්ධ; එනම් ū = -2/3 වේ. මෙය අනෙක් සියලු ක්වාර්ක් වලටද එසේම වේ. u හෝ d ක්වාර්ක් වල ස්කන්ධය ප්‍රෝටොනයක ස්කන්ධයෙන් 1/3 කි.


ක්වාර්ක් ගැන අධ්‍යනයේදී ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට සමගාමී ක්වොන්ටම් වර්ණයාන්ත්‍ර විද්‍යාව (quantum chromodynamics) යොදාගනී. ක්වාර්ක් වල වර්ණය (color) නමැති ගුණයක් තිබේ. මෙහිදී වර්ණය යනුවෙන් අදහස් කරන්නේ රතු, කොළ, නිල් යන මුලික වර්ණ වලට සමාන්තර සංකල්පයක් මිස සැබෑ වර්ණයක් නොවේ. ū හි වර්ණය u හි වර්ණයට සාපේක්ෂව ප්‍රති-වර්ණය (anti color) විය හැකිය. ක්වොන්ටම් වර්ණ යාන්ත්‍රික විද්‍යාව අනුව ක්වාර්ක් පැවතිය හැකිවන්නේ වර්ණය ශුන්‍ය වන ලෙස බැදී ඇති අවස්ථා වල පමණි. රතු, කොළ, නිල් යන වර්ණ ගුණාංග ඇති ක්වාරක් 3ක් එකට බැඳිය හැකිය. වර්ණය සහ ප්‍රති-වර්ණය සහිත ක්වාර්ක් දෙකක් එකට බැඳුන විටද වර්ණ ශුන්‍ය වේ. මෙලෙස ක්වාර්ක් 3ක් බැදීමෙන් සැදෙන අංශු බැරියෝන (Barion) ලෙස හැදින්වේ. බැරියෝන හැසිරෙන්නේ ෆර්මි-ඩිරැක් සංඛ්‍යාන නීති (Fermi-Dirac statistics) අනුව බැවින් ඒවාට ෆර්මියෝන (Fermions) යයිද කියනු ලැබේ. ක්වාර්ක් සහ ප්‍රති-ක්වාරක් අංශු දෙකක් එකට බැඳීමෙන් සැදෙන අංශු මීසොන (meson) වේ. මීසොන හැසිරෙන්නේ බෝස්-අයින්ස්ටයින් සංඛ්‍යාන නීති අනුව බැවින් ඒවාට බෝසෝන (Bosons) යයිද කියනු ලැබේ.   


බැරියෝනයක් වන ප්‍රෝටෝනයක් සැදෙන්නේ uud ලෙස ක්වාර්ක් එක්වීමෙනි. ප්‍රෝටෝනයක ස්කන්ධය  1/3 + 1/3 + 1/3 = 1 වේ. ප්‍රෝටෝනයක ආරෝපණය +2/3 + 2/3 - 1/3 = (+1) වේ. නියුට්‍රොන්යක් සැදෙන්නේ udd ලෙස ක්වාර්ක් බැදීමෙනි. නියුරෝනයක ස්කන්ධය 1/3 + 1/3 + 1/3 = 1 වේ. නියුරෝනයක ආරෝපණය +2/3 -1/3 -1/3 = 0 වේ. 

නුතන විද්‍යාව අනුව විශ්වයේ පවතින්නේ ප්‍රභල න්‍යෂ්ටික බල, දුර්වල න්‍යෂ්ටික බල, විද්‍යුත්-ච්ම්භක බල, සහ ගුරුත්වාකර්ෂණ බල යන බල වර්ග 4 පමණි. මුලික අංශුන් මෙම බල වර්ග සමග අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්න පසු දිනෙක සලකා බලමු. 

Saturday, August 13, 2016

සමුරායි සමයේ ජපන් ඉතිහාසය

අනාගතය නිර්මාණය වන්නේ ඉතිහාසය මතින් බව විශ්වාස කරමි. ඉතිහාසයේ සිදුවූ හොඳ දේ නැවත නැවත සිදුවීමට සැලැස්වීමටද නරකදේ නැවත නැවත සිදුවීම වැලක්වීමටද ඉතිහාසය එලෙසින් දැනසිටීම මහෝපකාරී වනු ඇත. එහෙත්, ඉතිහාසය තිබෙන්නේ අනාගතය වෙනුවෙන් අධ්‍යනය කිරීමට හා විශ්ලේෂණය කිරීමට මිස උජාරුව පෙන්වමින් කයිවාරු ගැසීමට හෝ ගරහමින් අවනම්බු කිරීමටද නොවන බවද මගේ සිතිවිල්ලයි. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ අනවශ්‍ය ලෙස තරගකාරී සීමා සහිත රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුලින් පැමිණි මට ලෝක ඉතිහාසය මෙන්ම ලෝකය ගැන බොහෝ නොදන්නා දේ ඉගනීමට ලැබුනේ ජපානයේදී මුණගැසුණු ගුරුවරයෙකුගෙනි. මට මුණගැසුණු වඩාත්ම වැඩිපුර ඇසු පිරු තැන් තිබුන ඔහු ලෝකයේ රටවල් 66ක නගර 160ක පමණ ජීවත් වූ "හොකයිඩෝ ෂින්බුන්" පුවත්පතේ දේශපාලන කොලම වසර ගණනාවක් තිස්සේ ලියු; ජනපති බිල් ක්ලින්ටන්ගේ කාලයේ ධවල මන්දිරයේ වාර්තා කරු ලෙස කටයුතු කල අයෙකි. ශ්‍රී ලංකාවේ යුද්ධයද, ගල්ෆ් යුද්ධද, ඇෆ්ගනිස්ථාන යුද්ධද ඇතුළුව බොහෝ යුධපෙරමුනු වලට ගොස් තොරතුරු ලියු ඔහු MIT Knight Science Fellowship ලැබූ අයෙකි. ආචාර්ය උපාධියක් හැදෑරීමේ ප්‍රධාන අරමුණු දෙක ලෙස පර්යේෂණ කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනය බව මා මුලින්ම උගත්තේ ඔහුගෙනි. නැනෝ තාක්ෂනය ගැන ආචාර්ය උපාධිය හදාරන අතරතුර මම ඔහුගෙන් ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන උගත්තෙමි. එහිදී, ජපානයේ නුතන දේශපාලන ඉතිහාසය මා සිත්ගත් මාතෘකාවක් විය. ජපානයේ නුතන ඉතිහාසය ගැන සිංහල භාෂාවෙන් එතරම් ලියවී නොමැති බැවින් එය මෙසේ හැකි අයුරින් ලියා තබමි.


වසර 1505 දී ලොරෙන්සෝ ද අල්මෙඉද ඇතුළු පෘතුග්‍රීසි නාවිකයන් ගාල්ලට ගොඩබසින ලදී. ශ්‍රී ලංකාවේ නුතන ඉතිහාසය කතාවන්නේ එතැන් සිටයි. බොහෝ විට ජපානයේ නුතන ඉතිහාසය ගැන කතාකිරීම ආරම්භ වන්නේද එම කාලයේ සිටයි. වසර 1500 පමණ වන විට ජපානයේ අභ්‍යන්තර පරිපාලන බලය වැඩවසම් වංශාධිපතියන් අතර බෙදීගොස් තිබුණි. 1568 දී "ඔද නොබුනග" සමුරායි වරයාගේ කණ්ඩායම් කියෝතෝවට පැමිණ සටන් කර "අශිකග යෝශිහිදෙ" ශෝගුම් වරයා රූකඩයක් ලෙස යොදාගනිමින් "මුරොමචි" ශෝගුමය (Shogunate) නැවත පිහිටුවන ලදී. නමුත්. පසුව, 1573 දී "අශිකග යෝශිහිදෙ" විසින් "ඔද නොබුනග" මරා දමා බලය තනිව අල්ලාගැනීම කල සැලසුම හසුවී "යෝශිහිදෙ" කියෝතොවෙන් පිටුවල් කිරීමෙන් පසු; "යෝශිහිදෙ" බෞද්ධ භික්ෂුවක් වීමන් එම ශෝගුමය අවසන් විය. එතැන් පටන් වසර 1582 දී තම සගයෙකු විසින් සටනක දී පාවාදීමෙන් පසු සෙප්පුකු ක්‍රමයට දිවිනසගන්නා තෙක්, "ඔද නොබුනග" ගේ පාලනයක් තිබුණි. ඉන් පසු, "ඔද නොබුනග" ගේ අනුගාමිකයෙකු වූ ද පාබල සෙබලෙකුගේ පුතෙකු වූ ද "තොයොතොමි හිදෙයොෂි" ජපානයේ පාලකයා ලෙස කටයුතු කළේය.



"තොයොතොමි හිදෙයොෂි" ජපානය එක්සේසත් කරමින් සාර්ථකව පාලනය කල අතර ඔහු කොරියානු අර්ධද්වීපය සහ චීනය ආක්‍රමණය කර අල්ලාගැනීමට දෙවරක් උත්සහ කළේය. ඇත්තටම "තොයොතොමි හිදෙයොෂි" ට වුවමනා වී තිබුනේ චීනය අල්ලා ගැනීමට කොරියානු අර්ධද්වීපය තුලින් හමුදාවන් යැවීමටයි. නමුත්, මෙහිදී චීන හමුදා හා ජපන් හමුදා කොරියාවේදී යුධවදීවි යයි බියවූ කොරියානු රජු ඊට අවසර නොදුන් නිසා කොරියාව යටත් කර එතුලින් චීනයට හමුදා යැවීමට "තොයොතොමි හිදෙයොෂි" තීරණය කළේය. "තොයොතොමි හිදෙයොෂි" සමුරායි පවුලක් නොවෙන සාමාන්‍ය පවුලකින් ආ අයෙකු වුවද, ඔහු සමුරායි වරුන් හැර සියලු සාමාන්‍ය මිනිසුන්ට ආයුධ දැරීම තහනම් කළේය. ඔහු ගොවියන්ගේ කඩු එකතුකර ඒවා උණු කර බුදු පිළිම සෑදවූ බව කියවේ. "හිදෙයොෂි" මෙකලදී ගොවිබිම් පිලිබඳ මිනුම් කටයුතු ද, සම්පූර්ණ ජන සංගණනයක් ද කරවුයේය. ඔහු සියලු ජනයන් ලියාපදිංචි කල අතර සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ප්‍රාදේශීය පාලකයාට අයත් වූ භූමි  ප්‍රදේශයෙන් අවසර නොමැතිව පිටවී යාම තහනම් කළේය. භූමි මිනුම් මත පදනම් වෙමින් ගොවියන්ගෙන් බදු වශයෙන් ලබාගත් ධාන්‍ය ප්‍රමාණයන් තීරණය කෙරුණි. වහලුන් ලෙස හෝ බලහත් කාරයෙන් මිනිසුන් සේවයේ යෙදවීම ඔහු තහනම් කළේය. මෙකල පෘතුගීසීන් ජපන් වහලුන් වෙළඳාම් කල අතර, ජපානය තුල වහල් ක්‍රමය මෙන්ම ක්‍රිස්තියානි ආගම ඇදහීම ද "තොයොතොමි හිදෙයොෂි" විසින් තහනම් කරන ලදී. ක්‍රිස්තියානිකරණය සිදුකල විදේශිකයන්ද ජපන් ජාතිකයන්ද ඇතුළුව 26 දෙනෙකු නගසකි හි දී මරාදැමීමට "හිදෙයොෂි" නියෝග කළේය. තරුණ පිරිමි ළමුන්ද මේ 26 දෙනාට ඇතුලත් වූ බව කියවේ. "තොයොතොමි හිදෙයොෂි", තේ පාන උත්සව සංස්කෘතිය අද ඇති තත්වයට පත්වීමට බොහෝ සෙයින් දායක වූ අයෙකි. ඔහු මාලිගාවේ කුඩා කාමරයක තේ පාන උත්සව උත්සවය පැවැත්වීය. අමුත්තන්ට ඇතුළු වීමට ඉතා කුඩා කවුළුවක් තැබීම මගින් සමුරායි වරුන්ගේ කඩු සහිතව ඇතුල්වීම වැළකුවේය. ඇත්තෙන්ම, නියම තේ පාන උත්සවයකදී සියලුදෙනා එක හා සමාන විය යුතු බවද සිතු ඔහු, තේ පාන උත්සවයකදී, භාහිර ලෝකය උස පහත කම් බොහෝසෙයින් අමතක කර එහි සිටීමේ චාරිත්‍රයකට මුල පිරුවේය. ඔහු යන තැන ගෙනයාහැකි රනින් වැසූ තේ පාන උත්සව කාමරයක් සෑදවුයේය. ඕසකා මාලිගාව ගොඩනගන ලද්දේද "තොයොතොමි හිදෙයොෂි" විසිනි. "හිදෙයොෂි" කියෝතෝහි බොහෝ බෞද්ධ විහාර ගොඩනැගු අතර සමහර ඒවා තවම පවතී. "හිදෙයොෂි" ගේ බිරිඳ ඉතා බුද්ධිමත් කාන්තාවක් වූ අතර රට පාලනය කිරීම පිලිබන්ධව ඔහුට බොහෝ උපදෙස් ඇය විසින් ලිපිමගින් සපයන ලදී. "හිදෙයොෂි" බිරිඳගේ රාජ්‍ය තාන්ත්‍රික උපදෙස් පිළිගත් බව ඉතිහාසය පවසයි. "තොයොතොමි හිදෙයොෂි" ගේ අර්ධ සොහොයුරෙකු වූ රණ ශුර "තොයොතොමි හිදෙනග" ද "හිදෙයොෂි" වෙනුවෙන් බොහෝ දේ ඉටු කල බව ඉතිහාසයේ කියවේ. කෙසේ වුවද, සාමාන්‍ය පවුලකින් ආ "තොයොතොමි හිදෙයොෂි" ට වංශවත් උපතක් නොතිබුන අතර අඩු වශයෙන් වංශාධිපතියෙකු දරුවෙකු සේ ද හදාවඩා නොගත් බැවින් ශෝගුම් තත්වයට උසස් වීමට ලැබුනේ නැත. 



පසුව "හිදෙයොෂි" රෝගී වූ අතර; තමන් මියගියහොත් ඔහු ගේ  වසර 5ක පමණ කුඩා පුත්‍රයා වැඩිමහලු වනතෙක් රට පාලනය කිරීමට බලවත් වංශාධිපති වැඩිහිටියන් පස්දෙනෙකුගේ කමිටුවක් ඔහු පත් කළේය. "තොයොතොමි හිදෙයොෂි" ගේ අභාවය වනවිට ඔහුගේ හමුදාවන් කොරියානු අර්ධද්වීපය දෙවන වරට ආක්‍රමණය කරමින් සිටි අතර වැඩිහිටියන් පස්දෙනාගේ කමිටුව විසින් හමුදාවන් නැවත කැඳවන ලදී.  කොරියානු අර්ධද්වීපය ආක්‍රමණය කිරීම සැලසුම අසාර්ථක වීමත් "හිදෙයොෂි" පාර්ශවයේ බලය පිරිහීම වේගවත් කළේය. කෙසේ වුවද, "තොයොතොමි හිදෙයොෂි" ගේ මරණයෙන් වසරකට පසුව වැඩිහිටියන් පස්දෙනාගේ කමිටු ප්‍රධානියා වූ "මඑද තොෂිඒ" ද මිය ගිය අතර, ඉන් පසු "හිදෙයොෂි" පනවා තිබු නීති නොසලකා හරිමින් "තොකුගව ඉඑයසු" සේනා සංවිධානය කරමින් යුධ ප්‍රකාශ කළේය. "තොකුගව ඉඑයසු" යනු "ඔද නොබුනග" ගේ කණ්ඩායමේ සිටි ඒ වන විට ජීවත්ව සිටින එකම සාමජිකයා වූ බැවින් තමන් පාලකයා විය යුතු බව "තොකුගව ඉඑයසු" ගේ මතය විය.



"තොයොතොමි හිදෙයොෂි" ගේ කුඩා පුත්‍රයා වූ  "තොයොතොමි හිදෙයොරි" වෙනුවෙන් සේනා සංවිධානය කර සටන් කිරීමට "ඉෂිද මිත්සුනරි" කටයුතු කළේය. බටහිරින් පැමිණි පැරණි සුප්‍රසිද්ධ රණ ශුරයින් විශාල ප්‍රමාණයක් ඇතුළු 80,000 ක් පමණ "ඉෂිද  මිත්සුනරි" ගේ හමුදාවට අයත් විය. නැගෙනහිරින් පැමිණි 74,000 ක පමණ හමුදාවක් "තොකුගව ඉඑයසු" විසින් ගෙන එන ලදී. වසර 1600 ඔක්තෝබර් 21 වෙනිදා සෙකිගහර ප්‍රදේශයේ සිදුවූ සටනින් "තොකුගව ඉඑයසු"ජයග්‍රහණය කල අතර ඔවුන් බටහිර හමුදාවේ බොහෝ දෙනෙක් මරාදමන ලදී. වංශවත් උපතක් තිබු "තොකුගව ඉඑයසු"  1603 දී ශෝගුම් තත්වයට උසස් කරන ලදී. වර්තමානයේ තෝකියෝ ලෙස හැදින්වෙන එදෝ ප්‍රදේශය ප්‍රධාන පාලන මධ්‍යස්ථානය කරගනිමින් එහි මාලිගාවක සිට  "තොකුගව ඉඑයසු" ජපානය පාලනය කිරීම ආරම්භ කළේය. මෙය "තොකුගව" ශෝගුමයේ ආරම්භය විය.


මේ සියල්ල සිදුවන්නේ ජපන් අධිරාජ්‍යය පරපුරක් සිටියදීය. අද ටෝකියෝ නම් වන, ජපානයේ නැගෙනහිර එදෝ ප්‍රදේශයේ සිට "තොකුගව" ශෝගුමය රට පාලනය කරන අතර බටහිර ප්‍රදේශයේ සමුරායි වරුන් ප්‍රභල විය. හිරෝෂිමා ආසන්නයේ ඇති වර්තමානයේ යමගුචි ප්‍රදේශය වන චෝෂු ප්‍රදේශයේ සහ කියුෂු දුපතේ වර්තමාන කගොෂිමා ප්‍රදේශය වන සත්සුම ප්‍රදේශ වල ප්‍රභල සමුරායි වරුන් සිටියද චෝෂු සහ සත්සුම අතර බරපතල යුධ ගැටුම් තිබුන බැවින්, ඔවුනට නැගෙනහිර "තොකුගව" ශෝගුමයට එරෙහිව සටන් කිරීමට නොහැකි විය. චුෂෝ  සහ සත්සුම අතර පිහිටි; ශිකොකු දුපතේ වර්තමානයේ කෝචි ලෙස හදුන්වන ටොස ප්‍රදේශයෙන් බිහිවූ "සකමොටෝ ර්යෝමා" නම් දුප්පත් සමුරායිවරයා විසින් එකිනෙකා ඝාතනය කරගත් "සත්සුමා" සහ "චෝෂු" සමුරායි කණ්ඩායම් සමගි කර "තොකුගව ශෝගුමය" ට එරෙහිව මෙහෙයවන ලදී. එසේ "තොකුගව ශෝගුමය" පරදවා ජපන් අධිරාජ්‍යයට කිරුල පවරමින් නුතන ජපානයට බිහිකිරීමේ 1868 වසරේ "මෙඉජි විප්ලවය" තෙක් වසර 250 පමණ "තොකුගව ශෝගුමය" පැවතුනි. නුතන ජපානයේ පියා ලෙසින් හැදින්වෙන්නේ සකමොටෝ ර්යෝම වන අතර ඔහුගේ දායකත්වය මෙඉජි විප්ලවයට ඉතා වැදගත් විය.  



නුතන ලෝක ඉතිහාසය කියවීම කෙතරම් වැදගත් වුවද, මෙඉජි විප්ලවය දක්වා ජපානයේ නුතන ඉතිහාසය ගැන විස්තරාත්මක සිංහල ලියවිල්ලකට අන්තර්ජාලයේ සොයගැනීමට ඇත්තේ "නෙළුම් විල" බ්ලොග් අඩවියේ 2012 අප්‍රේල් පළමුවැනිදා Buratheno නම් බ්ලොග් කරු ලියා ඇති පිළිතුරු අදහසක් පමණකි. එමෙන්ම, ජපානයේ නුතන ඉතිහාසය බොහෝ විට අපේ රටේ කතා නොවෙන මාතෘකාවකි. එබැවින් ජපානයේ නුතන ඉතිහාසය සිංහලෙන් ලියා තැබීමේ වටිනාකම වෙනුවෙන් මෙම ලිපිය ලියා තබමි. ලෝකය ගැන දැනගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය ගැන මට උනන්දුවක් ඇතිකළ මහාචාර්යතුමාට මම බොහෝ ස්තුතිවන්ත වෙමි.


Tuesday, July 19, 2016

දැනුම හුවමාරුව වෙනුවෙන් ලියවෙන ලිපිවලට (පර්යේෂණ ලිපි වල හැඩය ඇසුරෙන් තනාගත්) සුදුසු හැඩයක්

නව දැනුම මෙන්ම පැරණි දැනුමද ඉක්මනින් හා පහසුවෙන් හුවමාරු කරගැනීමට ඇති අවස්ථාවන් ප්‍රමාණය මගින් ලෝකය ඉදිරියට යන වේගයට සෘජු බලපෑමක් එල්ල වේ. අනෙක් අතට ගත කල, විවිද ක්ෂේස්ත්‍රයන් වලින් ලෝකය ඉදිරියට ගෙනයාමට වෙහෙසෙන අයට ඇති ප්‍රධානම බාධකය වන්නේ සීමා සහිත කාලයයි. මේ නිසා, ඉක්මනින් පහසුවෙන් කියවා කාලය ඉතිරි කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සියලු ක්ෂේස්ත්‍ර වල පර්යේෂණ පත්‍රිකා සඳහා සම්මත පොදු ආකෘතියක් පවත්වාගෙන යාම සිදුවේ. (නමුත්, සුළු තාක්ෂණික වෙනස්කම් එකම ක්ෂේස්ත්රයේ ජර්නල අතර වුවද පවතී.) මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ දැනුම හුවමාරුව වෙනුවෙන් ලිපියකට වඩා සුදුසු වන එම හැඩය ගැන සවිස්තරාත්මකව සරලව ලියා තැබීමයි. 

පර්යේෂණ ලිපියකට එවැනි සම්මත හැඩයක් තිබීමේ අවශ්‍යතාවය සැකෙවින් පහත දැක්වේ. ප්‍රමුඛ පර්යේෂකයන් බොහොමයක්ම දිනකට පර්යේෂණ ලිපි සහ පත්‍රිකා සියයකට වඩා කියව බලන බව මගේ අත්දැකීමයි. සෑම දිනකම පාහේ ජර්නල හා සඟරා වලට පත්‍රිකා හා ලිපි පිළිගැනීම සිදුවන අතර ඒවායින් බොහොමයක් ඒ විගසම පිළිගත් ලෙසම (just accepted) අන්තර්ජාලයට නිදහස් වේ. මෙහිදී, නැනෝතාක්ෂණය සහ ජෛව තාක්ෂනය වැනි අතිශය තරඟකාරී විෂයන් සැලකු විට එකම අරමුණක් කරා යන පර්යේෂක කණ්ඩායම් සිය ගණනක් සිටී. අප විසින් සිදුකරමින් පවතින පර්යේෂණ අපට පෙර යම් කණ්ඩායමක් වාර්තා කර ඇති නම්, අප එය විගසින් දැනගෙන අපේ පර්යේෂණය ඔවුන්ට වඩා මදක් දුරට හෝ ගෙනයාම නොකළහොත් අපට පත්‍රිකා පලකල නොහැක. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවකදී සමගාමී පර්යේෂණ ගැන පලවන නවතම මුලාශ්‍රයන් සඳහන් කිරීම ද කියවන්නා වෙනුවෙන් අප කලයුතු යුතු කමකි. අනෙක් අතට, අපගේ පර්යේෂණ අවසරයකින් තොරව හෝ මුලාශ්‍රයක් ලෙස ද සඳහන් කිරීමකින් තොරව අනවසරයෙන් හා ආචාරධර්ම උල්ලංඝනය කරමින්, වෙනත් කණ්ඩායම් විසින් දැන හෝ නොදැන අලුත් සොයාගැනීම් ලෙස වාර්තා කරන අවස්ථා නිල වශයෙන් මුද්‍රණය වීමට පෙර වැලක්වීමටද අප කටයුතු කල යුතුය. මේ සියලු අවශ්‍යතාවයන් වෙනුවෙන්, සෑම දිනකම උදෑසන දී පෙරදින නිකුත් වූ පත්‍රිකා සියල්ලම පාහේ අප විසින් කියවිය යුතුය. අපේ කණ්ඩායමේ නම්, ජේෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකු එක් එක් ජර්නල බාරගෙන පරීක්ෂා කරනු ලැබේ. අපට ඍජුව අදාළ දේ එදිනම සාකච්චා කිරීම සිදුවේ. කලින් කල අප භාරගෙන ඇති ජර්නලයන් නැවත අන්‍යෝන්‍ය වශයෙන් හුමාරු කරගන්නේ ඒකාකාරී බවෙන් මිදීමට හා නව ක්ෂේස්ත්‍ර ගැන දැනුම ලබා ගැනීමටයි. පිළිගත් හැඩය ඇතිව  තාර්කිකව ලියවී ඇති පර්යේෂණ ලිපියක මධ්‍යගත අදහස මිනිත්තු කිහිපයකින් අපට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකිවේ. අපි සම්පූර්නයෙන්ම කියවන්නේ එසේ තෝරාගන්නා ලිපි සුළු ප්‍රමාණයකි.  ඉහත දක්වා ඇති ආකාරයට පෙනෙන්නේ, ලියවිලි වල හැඩය එකිනෙක වෙනස් නම් පත්‍රිකා කියවීම හැර වෙනත් දෙයක් කිරීමට අපට කාලය ඉතිරි නොවෙන බවයි.


1 . රූපය. පර්යේෂණ ලිපියක හැඩය 


පර්යේෂණ ලිපියක හැඩය ලෙස බහුලව පිළිගැනෙන්නේ සාමාන්‍ය තැන සිට සුවිශේෂී තැන දක්වාත් නැවත සුවිශේෂී තැන සිට සාමාන්‍ය තැන දක්වාත් (general to specific-specific to general) ගමන් කිරීමයි. එහිදී සාමාන්‍ය තැන සිට සුවිශේෂී තැන දක්වා ඉතා ඍජු කෙටි හැඳින්වීමක් තිබිය යුතුය. හැඳින්වීමේදී පළමු වාක්‍යය ඉතාම වැදගත් වේ. පළමු වාක්‍යය වැල්වටාරම් වලින් තොරව ලිපියේ අන්තර්ගතය හදුන්වාදීමට යොදාගැනීම පරිණත ලියන්නෙකුගේ ලක්ෂණයකි. මීළඟ වාක්‍යය කිහිපය මගින් කියවන්නා කෙලින්ම යොමුකළ යුත්තේ නිගමනයටයි. ජලය ඉහල සිට ස්වයංසිද්ධව පහලට ගලා එන්නා සේ  ලිපියේ හැදින්වීම නිගමනය කරා ගලා යා යුතුය. 

හැදින්වීමේදී, පසුබිම, ගැටළුව, ගැටළුව ගැන දැනට අප දන්නා ප්‍රමාණය, ගැටළුව විසඳීමට අපේ උපක්‍රමය කෙටියෙන් පැහැදිලිව ලියවිය යුතුය. ලිපිය කියවන විට හැදින්වීම මේ යයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවීම අත්‍යවශ්‍ය වේ.   

ඉන් පසු සුවිශේෂී පර්යේෂණ විධි ද මුලධර්ම, අපගේ මෙන්ම අනෙත් පර්යේෂකයන්ගේ පෙර වාර්තා මත පදනම් වෙමින් ප්‍රතිඵල සාකච්ඡා කිරීමද සිදුවේ.

සාර්ථක පත්‍රිකාවක නිගමනය විය යුත්තේ අපේ උපක්‍රමය මගින් ගැටලුව සම්පූර්ණයෙන්ම හෝ පාර්ශිකව විසඳීම ආදර්ශනය ක‍ර පෙන්නු බවයි.  (සමහරවිට ප්‍රතිඵල වඩා දියුණු කිරීමට් හෝ තහවුරු කිරීමට නුදුරු අනාගතයේ සිදු කිරීමට නියමිත පර්යේෂණද සඳහන් ක‍රයි.) නිගමනය මේ යයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවීම  අත්‍යවශ්‍ය වේ.  

නිගමනය බොහෝවිට සුවිශේෂී එකක් නොවිය යුතු අතර පටන් ගත් තැනට යන සාමාන්‍ය නිගමනයක් විය යුතුය. හැදින්වීමත් නිගමනයත් පරස්පර නොවිය යුතුය. අවසානයේ කියවන්නාට දෙන සංක්ෂිප්ත ඍජු පණිවිඩය නිගමනය තුල ඉතා පැහැදිලිව අඩංගු වී  තිබිය යුතුය.

හැදින්වීමද නිගමනයද පරස්පර වන අවස්ථා වලදී ලිපිය විහිළුසහගත වේ. එක උදාහරණයක් දක්වමි. එහි හැදින්වීමේ පළමු වාක්‍යය වුනේ "ලංකාවේ බොහෝ ජලාශ දුෂ්‍ය වී ඇති අතර බේරේ වැව යනු ලංකාවේ ඇති වැඩියෙන්ම දුෂිත ජලාශය" බවයි. අවසාන නිගමනය වුනේ, "බේරේ වැවේ දුෂණය එතරම් නොවෙන" බවයි. එය කියවන්නාට සපයන්නේ විහිළුවකි.

උදාහරණයක් ලෙස දැක්වුවහොත්,  දැනට නිරතව සිටින පර්යේෂණ වලින් එකක් වන සුනම්‍ය පාරදෘශ්‍ය තුනී පටල ට්‍රාන්සිස්ටර  ගැන ලියවෙන පත්‍රිකාව සැකවින් මෙසේ විය යුතුය.

නිෂ්පාදනයට වැයවෙන ශක්ති ප්රමාණය  භාවිතයේ පහසුව පහසුවෙන් භංගුර නොවීම වැනි කාරණා හේතුවෙන් සුනම්ය ඉලෙක්ට්රොනික උපාංග වලට වැඩි අවදානයක් යොමුවී ඇත. සුනම්ය පැතලි රූපවාහිනී තිර, සුනම්ය ජංගම දුරකථන, සුනම්ය සූර්යපැනල වැනි උපාංග ඒවායෙන් සමහරක් වේ. දැනට එම උපාංග නිමවීමට යොදාගන්නා පාරදෘශ්ය උපස්තර ද්රව්ය වන්නේ සුනම්ය නොවන වීදුරු, ක්වාර්ට්ස් වැනි ඒවායි. ඉහත කී සුනම්ය උපාංග නිපදවීමට නම් පොලිඑතිලීන් ව්යුත්පන්න වැනි සුනම්ය  පාරදෘශ්ය බහුඅවයවික උපස්තර ද්රව්ය යොදාගැනීම අත්යවශ්ය වේ. අනෙක් අතට ගත් කල, ඉහත කී විදුලි උපාංග පිරිසැකැස්ම සඳහා දැනට යොදාගන්නා ක්රියාවලීන්හිදී ඉහල උෂ්ණත්ව භාවිත කරයි. නමුත්, අප කී බහුඅවයවික ද්රව්ය ඉහල උෂ්ණත්ව වලට ඔරොත්තු නොදේ. විදුලි උපාංග පිරිසැකැස්ම සඳහා අඩු උෂ්ණත්ව ක්රියාවලි ගොඩනැගීම සුනම්ය විදුලි උපාංග නිපැයුම අත්යවශ්ය වේ. මේ සඳහා බොහෝ පර්යේෂණ සිදුවී ඇතත් ඒවායේ යම් ගැටළු පවතී. පිරිසැකැසුම් ක්රියාවලියට යොදාගතයුතු උෂ්ණත්වය තරමක් දුරට අඩුකිරීම සඳහා ක්රමයක් අප විසින් මීට වාර්තා කර තිබේ. රසායන විද්යාව සහ භෞතික විද්යාව අපගේ දැනුම තර්කාන්විතව යොදාගනිමින් නිර්මාණය කල, පිරිසැකැසුම් ක්රියාවලියට යොදාගතයුතු උෂ්ණත්වය තවදුරටත් අඩු කළහැකි උපක්රමයක් මෙම පත්රිකාවේ වාර්තා කෙරේ.

පර්යේෂණ විධි මුලධර්ම, අපගේ මෙන්ම අනෙත් පර්යේෂකයන්ගේ පෙර වාර්තා මත පදනම් වෙමින්  ප්රතිපල සාකච්චා කිරීම.


අපගේ නව ක්රමය මගින් පිරිසැකැසුම් ක්රියාවලියට යොදාගතයුතු උෂ්ණත්වය  දැනට යොදාගන්නා උෂ්ණත්වයට සාපේක්ෂව විශාල වශයෙන් අඩු කරන ලදී. එමගින් සුනම්ය පාරදෘශ්ය තුනී පටල ට්රාන්සිස්ටරයක් නිපදවූ අතර එම ට්රාන්සිස්ටරය ඉහල ගුණාත්මක භාවයකින් ක්රියාත්මක වූ බව පෙන්වා ඇත. මෙසේ, පිරිසැකැසුම් ක්රියාවලියට යොදාගතයුතු උෂ්ණත්වය තවදුරටත් අඩු කර භාවිතයට පහසු, භංගුර නොවෙන සාර්ථක සුනම්ය පාරදෘශ්ය ඉලෙක්ට්රොනික උපාංග නිපදවීමට නව ක්රමයක් මෙම පත්රිකාවේ සාර්ථකව ආදර්ශය කර පෙන්වා ඇත.

මා සිතන්නේ ඉහත ආකෘතිය පර්යේෂණ ලිපි වලට පමණක් නොව, දැනුම බෙදාගැනීමේ අරමුණෙන් ලියවෙන බොහොමයක් ලිපි වලට සුදුසු බවයි. 

නැවත නැවත ඉහලට පහලට යන වරින්වර වෙනස් වෙන ලිපි කියවීම කියවන්නට ඉතා අසීරු කරුණකි. එවැනි ලිපි වලින් කියවන්නාට දෙන අවසාන පණිවුඩය ග්‍රහණය කරගැනීම බොහෝ අපහසුවේ. සාමාන්‍ය තැන සිට සුවිශේෂී තැන දක්වාත් නැවත සුවිශේෂී තැන සිට සාමාන්‍ය තැන දක්වාත් ගමන් කරන ආකෘතිය කියවන්ට ඉතා පහසු එකකි.

පුවත්පත් වල පවා ලියවෙන සමහර ලිපි වල ඇත්තේ ව්‍යාකුල හැදින්වීම් වේ. මුල වාක්‍යය ලිපියට කිසිසේත්ම සම්බන්ධ නොවන අවස්ථා ඇත. අරුණ පෙරේරා මිතුරා වරක් මට කියවන්නට යයි එවූ පුවත්පත් ලිපියක සඳහන් වුනේ ශාඛ ද්‍රව්‍ය වලින් සන්ඝන්ධ තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හිමි කරුවෙකු ගැනයි ගැනයි. නමුත් ලිපිය ආරම්භ ක‍ර ලියා තිබුන වාක්‍යය වුනේ, පොළවෙන් අඩි 26000 ඉහල අහසේ ගමන් ගන්න ගුවන් යානයක් ගැනයි. මාතෘකාවද ආරම්භයද සැලකු විට මම මුලින් සිතුවේ එම ලිපිය ලියවී ඇත්තේ එම නිෂ්පාදන ගුවන් මගින් ප්‍රවාහනයේදී මුහුණ දෙන ගැටළුවක් ගැන විය හැකි බවයි. නමුත් ලිපියට ගුවන්යාන වල කිසිදු ඍජු සම්බන්ධයක් තිබුනේ නැත. තවත් සමහර ලිපිවල, මාතෘකාවට කිසි සේත්ම අදාළ නොවන පාරිසරික සිද්ධි ලියා තිබේ. මිනීමැරුම් ගැන විශ්ලේෂණයක් ලියාතිබුන එක පුවත්පත් ලිපියක් ආරම්භ ක‍ර තිබුනේ  "පසළොස්වක සඳ කන්දට ඉහලින් පායා එමින් තිබුණි" යනුවෙනි. මෙවැනි අනවශ්‍ය වාක්‍යය කියවන්නාගේ පැත්තෙන් බැලු විට ඝෝෂාවක් මිස සාහිත්‍යයක් නොවේ. තැන නොතැන නොබලා එවැනි අනවශ්‍ය දේ බලෙන් එබ්බවූ විට ලිපියේ ජීවගුණය බොහෝවිට නැතිවී යයි.



සමහර ලියවිලි කියවන විට මට මතක් වන්නේ කණාමුට්ටි ගැස්සවීමයි. එහිදී දෑස වසා තැන් තැන් වලට රැගෙන ගොස් වට කිහිපයක් කරකවා අත හරින්නේ මුට්ටිය තිබෙන දිශාව හදුනාගන්නට අපහසු වීමටයි. සමහර ලිපිවලින්ද කියවන්නාට කණාමුට්ටි ගැස්සවීමට උත්සහ කරනා බව පෙනේ. ඔවුන් කියවන්නා එකිනෙකට වෙනස් කරුණු වලට ගෙනගොස් කරකවා අතහරී. දැනුම හුවමාරුව වෙනුවෙන් ලියන කිසිදු ලියන්නෙකු කියවන්නාට කණාමුට්ටි ගැස්සවීමට නොසිතන නමුත්, ලියන්නා විසින් ලිපියට බලෙන් ඔබ්බවනා සමහර අනවශ්‍ය දේ මගින් ලියන්නා නොදැනුවත්වම කියවන්නාට කණාමුට්ටි ගැස්සවීම සිදු කරයි. මෙයින් කියවන්නාට ඇතිවන ඉච්ඡාභංගය ලිපියේ අවසන් පණිවුඩය ග්‍රහණය කරගෙනීම වලකාලයි. විශිෂ්ඨ ලියන්නෙකු කල යුත්තේ, කියවන්නා වෙහෙසකර නොවන ලෙසට හැදින්වීමේ සිට ඍජු රේඛාවක් ඔස්සේ ප්‍රවේශමෙන් සුමටව නිගමනය දක්වා රැගෙන යාමයි.

හැදින්වීම මගින් කියවන්නා නිගමනය වෙත යොමු කරනා, සාමාන්‍ය තැන සිට සුවිශේෂී තැන දක්වාත් නැවත සුවිශේෂී තැන සිට සාමාන්‍ය තැන දක්වාත් ලියවෙන පර්යේෂණ පත්‍රිකා ආකෘතිය, දැනුම ඉක්මනින් හා පහසුවෙන් හුවමාරු කරගනිමින් ලෝකය වඩාත් හොඳින් දැනුවත් තැනක් කිරීම වෙනුවෙන් ලියවෙන සියලු ලිපි සඳහා ඉතා යෝග්‍ය වේ.

(ලිපි වල අනෙකුත් හැඩයන් නොසුදුසු බවක් මෙම ලිපියෙන් අදහස් නොකරන අතර, පර්යේෂණ පත්‍රිකා ලිවීමෙන් මා ලැබූ දැනුම මත පදනම් වී කියවීමට වඩාත් පහසු ලිපියකට සුදුසු හැඩයක් යෝජනා කිරීමේ සිදු කර ඇත. ලිපියක හැඩය මෙසේ විය යුතුම යයි එමගින් අදහස් නොවේ.) 

Sunday, June 26, 2016

නව උර්දවපාතන තාප එන්ජිමක් A sublimation heat engine

යම් ශක්තියක් යාන්ත්‍රික ශක්තිය බවට හරවන විවිධ විවිධ එන්ජින් ගැන දැනුම නවතාක්ෂනය ඇසුරු කරන බොහෝ දෙනාට තිබේ යයි මම සිතමි. ඝණයක් වාෂ්ප කිරීමේදී සිදුවන උර්දවපාතන කියාවලිය මගින් තාප එන්ජිමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සංකල්පයක් ආදර්ශනය කිරීම නේචර් කොමියුනිකෂන් සඟරාවේ (Open access)  ලිපියක (G. G. Wells et al., A sublimation heat engine, Nat. Commun. 2015, 6390.) වාර්තා කර තිබුණි. ඇත්තෙන්ම එම එන්ජින් සංකල්පය නවතම එකක් ඊට වුවද ඔවුන් යොදාගෙන තිබුනේ ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය (leidenfrost effect) යන 1756 දී  J. G. Leidenfrost විසින් වාර්තා කල පැරණි සොයාගැනීමකි. ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණයට වසර 240 කට ආසන්න කාලපරාසයක් තුල එතරම් සැලකිල්ලක් ලැබී නොතිබුන අතර 2007 දී පමණ ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය මගින් ජනන කරන ලද ප්‍රති-නෙළුම් ආචරණයක් (anti-lotus effect) මගින් නැනෝව්‍යුහ සංස්ලේෂණය ආදර්ශනය කර පේනවන ලදී. ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය වෙත ජ්‍යාත්‍යන්තර පර්යේෂණ ප්‍රජාවේ අවධානය යොමුවීමට ඇරඹුණේ මේ කාලයේ යයි මම සිතමි. මෙම ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය යොදාගෙන වායු ගෝලීය පීඩන තත්වයන් යටතේදී තුනී-නැනෝ-පටල තැන්පත් කිරීම ඇරඹු කියෝතෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක උප කණ්ඩායම් සමග මම අතීතයේදී වැඩ කලෙමි. ඉහත කී ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය වෙත මගේ අවදානය යොමුවීමට ආසන්නතම හේතුව එයයි. අප මුලින්ම මෙම ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය ගැන වීඩියෝවක් නරඹමු.


1.  වීඩියෝව ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය ජලය යොදාගෙන ආදර්ශනය කිරීම.


1.  රූපය ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය ඇතිවන අකාරය විස්තර කෙරෙන රූපමය නිරූපණයක්.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට අඩු උෂ්ණත්වයක පවතින රත්වූ පෘෂ්ඨයකට සිසිල් ජලය වැක්කිරීමෙදී වන්නේ ජලය රත්වී වාෂ්ප වී සිදී යාමයි. නමුත් (ජලයේ තාපාංකයට  සාපේක්ෂව) අධික උෂ්ණත්වයකට රත් වූ පෘෂ්ඨයකට සිසිල් ජලය වක්කරන විට සිදුවන්නේ නෙළුම් කොලයක් මත සිදුවන ආකාරයට ජලය ගෝලීය හැඩති බින්දු වශයෙන් පැවතීමයි. ඊට හේතුව වන්නේ 1 රූපයේ දැක්වෙන ආකාරයට රත් වූ පෘෂ්ඨය සහ ජල බින්දුව අතර ඇතිවන වාෂ්ප ස්ථරය මත ජල බින්දුව රැදී සිටීමයි. මෙම වාෂ්ප ස්ථරය  මගින් ජල බින්දුව සහ රත්වූ පෘෂ්ඨය ස්පර්ශ වීම වලක්වන අතර එමගින් තාප සන්නයනය හීන වී ජල බින්දුව සිදී යාමද ප්‍රමාද කරයි. එමෙන්ම එකී අවස්ථාවේදී ඉහත කී ජල බින්දුව සුපිරි ජලභීතික පෘෂ්ඨයක් මත දී හැසිරෙන ආකාරයට හැසිරෙන අතර සම්පූර්ණයෙන්ම පාහේ ඝර්ශනයකින් තොරව රත්වූ  පෘෂ්ඨය මත ගමන් කරයි. උදුන මත තරමක් රත්කරන ලද ලෝහ බඳුනකට ජලය ස්වල්පයක් ඉසීමෙන් ඔබට නිවසේදී ලෙයිඩන්ෆ්රෝස්ට් බින්දු අත් හදා බැලීම කල හැකිය. ජලයට පමණක් නොව නයිට්‍රජන්, ඇමෝනියා වැනි ද්‍රව වලටද මෙම සංසිද්ධිය වලංගු වේ. කෙසේ වෙතත් පහසුවෙන් ගිනිගන්නා සුළු (ඔක්සිහාරක) ද්‍රවයන් මෙසේ යොදා ගැනීමට උත්සහ කිරීම අනතුරු දායක වේ.

1. රූපයේ දැක්වෙන ආකාරයට රත්වූ සුමට ලෝහ පෘෂ්ඨයකට ජලය වැටුන විට ජල බින්දුවට යටින් සෑදෙන ජලවාෂ්ප ස්ථරයේ අඩංගු වාෂ්ප සෑම දිශාවකින්ම පිටවී යන බැවින් ජල බින්දුව අහඹු ලෙස ගමන් කරයි. මෙම ජල වාෂ්ප එකම දිශාවකින් පිට වීමට සැලසීම උර්දවපාතන තාප එන්ජිමේ මුලධර්මයයි. මෙහිදී වාෂ්ප පිටවීම එක් දිශාවකට යොමු කිරීම සදහා දැති සහිත රැචට්ටු සහිත පෘෂ්ඨයක් භාවිත කෙරේ (2 රූපය). මෙහිදී වාෂ්ප ස්තරය මත පිහිටි ජල බින්දුවද වාෂ්ප ගමන් කරන දිශාවට ඇදී යාම සිදුවී. එය ඇත්තෙන්ම ගලායන දිය පහරක් මත පාවෙන රබර් බෝලයක් ජලය සමගම පහලට ඇදීයාම වැනි ක්‍රියාවකි.


2.  වීඩියෝව ලෙයිඩන්ෆ්රෝස්ට් උෂ්ණත්ව පාලකය ජලය යොදාගෙන ආදර්ශනය කිරීම.


2.  රූපය ලෙයිඩන්ෆ්රෝස්ට් ආචරණය මගින් ජල බින්දු එක දිශාවකට ගමන් කරවීම විස්තර කෙරෙන රූපමය නිරූපනයක්

මෙසේ, ජල බින්දු ගලා යාම මගින් ක්‍රියාත්මක වන උෂ්ණත්ව පාලකයක් (2. වීඩියෝව) බාත් විශ්විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය තකශිමා විසින් ඉදිරිපත් කරන ලදී. එම උෂ්ණත්ව පාලකය ක්‍රියාත්මක වීමට විදුලිය අවශ්‍ය නොවෙන අතර ජලය ගලායාම පාලනය මගින් ඇතිකරන ඍණ ප්‍රතිපෝෂණය මගින් උෂ්ණත්ව පාලකය ක්‍රියාත්මක වේ. ආචාර්ය තකශිමා වරක් මේ ගැන අදහස් දක්වමින් මෙවැනි උෂ්ණත්ව පාලකයකින් න්‍යෂ්ඨික බලාගාරයක උෂ්ණත්වය පාලනය කල හැකි නම් විදුලි බලය නොමැති වීමෙන් වියහැකි ෆුකුෂිමා බලාගාර අනතුර වැනි බරපතල අනතුරු වලක්වා ගත හැකි බවයි.


3.  වීඩියෝව උර්දවපාතන තාප එන්ජිම මගින් විදුලිය නිපදවීම වියලි අයිස් යොදාගෙන ආදර්ශනය කිරීම.

උර්දවපාතන තාප එන්ජිම සදහා වෘත්තාකාරව නිර්මාණය කරන ලද රැචට්ටු සහිත පෘෂ්ඨයක් යොදාගැනේ. එම පෘෂ්ඨය මගින් වාෂ්ප පිටවීම කෙන්ද්රාපසාරීව සිදු වන ලෙස යොමු කිරීම මගින් භ්රමණය වීමක් ඇති කිරීමෙන් ඉහත කි වාෂ්ප එන්ජිම ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, ජල බින්දු වල එම චලනය ප්‍රයෝජනවත් යාන්ත්‍රික ශක්තියක් ලෙස යොදාගැනීමට අපහසුය. එසේ ප්‍රයෝජනවත් යාන්ත්‍රික ශක්තියක් ඇති කරගැනීමට නම් කරකැවෙන කොටස් ඝන ද්‍රව්‍ය විය යුතුය. උර්දවපාතනය ලෙස හදුන්වන, ඝනයක් කෙලින්ම වායුවක් බවට පත්වීමේ ක්‍රියාවලිය මෙම එන්ජිමේ නිර්මාණයට වැදගත් වෙන්නේ මේ හේතුවෙනි. සුපිරිඅවධි තරල ගැන මීට පෙර ලිපියක දී සඳ වියමන් බ්ලොග් පිටුව ලියන්නිය මතු කල වියලි අයිස් (dry ice) හෙවත් මිදුන කාබන් ඩයොක්සයිඩ් මෙකී කාරණයට ඉතාම ගැලපෙන ද්‍රව්‍යයකි. වෘත්තාකාරව නිර්මාණය කරන ලද රැචට්ටු සහිත පෘෂ්ඨයක් මත වෘත්තාකාර වියලි අයිස් තැටියක් තැබීම මගින් උර්දවපාතන තා එන්ජිම ආදර්ශනය කරපෙන්වන අවස්ථාවක් 3 වීඩියෝවේ දැක්වේ.

(මගේ) නිගමනය
නේචර් කොමියුනිකේෂන් සඟරාවේ පළවූ මෙම පර්යේෂණය අපට නිවසේදී වුවද අත්හදා බැලිය හැකි තරමේ සරල එකකි. නව සොයාගැනීම් සහ නිර්මාණ වලට තාක්ෂණික බාධාවන් සෑම විටම එරෙහි නොවේ. උත්සාහය සහ නිර්මාණශීලිත්වය ඇතිනම් අපට තිබෙන පහසුකම් වලින් ලොවට වැඩදායක ඉහල පෙලේ නව නිර්මාණ සිදු කල හැකිය. මේ ඊට හොඳම උදාහරණයකි.

Tuesday, May 31, 2016

නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය වන ගෘහස්ථ වාතයේ ගුණාත්මක භාවය Indoor Air quality

අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිනක් සැලකු විට අනිවාර්යයෙන්ම රාත්‍රිය ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිවා කාලයද සේවා ස්ථානයක අභ්‍යන්තරයේ බොහෝ විට ගෙවේ. ගමනාගමනය ද කවුළු වැසූ  රථයක් තුල සමහරවිට සිදුවේ. සාමාන්‍ය තත්වය සැලකු විට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් 70% පමණ ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තර පරිසර තුලයි.

වැඩුණු පුද්ගලයෙක් මිනිත්තුවකට 10-30 වතාවක් පමණ හුස්ම ගනී. නිරෝගී වැඩුණු පුද්ගලයෙකු වාතය ලීටර් 11,000 ක් පමණ දිනකට ආශ්වාස කරන බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙයින් 70% පමණ ගෘහස්තව වෙසෙන නිසා ගෘහස්ත වාතය ලීටර් 8000 පමණ අපි දිනකට ශරීරය තුලට ගන්නෙමු.  ගෘහස්ත වාතයේ සෞඛ්‍යයට අහිතකර දේ අඩංගු වේ නම් අපේ ශරීරයට එවැනි ඒ වාතය ලීටර් 8000 ක් ම දිනකට ඇතුළු වන බව ඔබට පැහැදිලි වනු ඇති.  ගෘහස්ත වාතයේ ගුණාත්මක බව ජීවිතයට වැදගත් වන්නේ ඇයි දැයි වටහා ගැනීමට ඉහත සරල කරුණුම ප්‍රමාණවත් වනු ඇති බව මගේ විශ්වාසයයි.

බාහිර පරිසරයේ සුළං හමායාම හා වාතය මිශ්‍ර වීමේ සීග්‍ර තාවය ඉතා ඉහල වේ. බාහිර පරිසරයට සාමාන්‍ය හානිකර වාෂ්පශීලී ද්‍රව්‍යයක් එක වුවද එය ඉක්මනින් විසිරී තනුක වී යයි. නමුත් ගෘහස්ත පරිසරයේ දී එසේ යම් හානිකර වාෂ්පශීලී ද්‍රව්‍යයක් වාතයට එක්වූ විට එය බොහෝ වෙලා යන තුරු එසේම රැදී පවතී. අපි එළිමහනේ සුවඳ විලවුන් ටිකක් ඉසීමෙන් පසු ඔබ එතනින් ඉවත්ව ගොස් නැවත බොහෝ වෙලාවකින් පැමිණියහොත් කිසිදු සුවඳක් රැදී නොපවතී. නමුත්, නිවස තුල සුවඳ විලවුන් ටිකක් ඉසීමෙන් පසු ඔබ එතනින් ඉවත්ව ගොස් නැවත බොහෝ වෙලාවකින් පැමිණියද යම් සුවඳක් රැදී තිබේ. (ඉවත නොගොස් එතනම රැදී සිටියහොත් අප සුවඳට හුරු වීම නිසා අපට එය නොදැනී යයි.) මෙයින් පෙනෙන්නේ ගෘහ අභ්‍යන්තරයේ වාතයට එක්වන යම් වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයක රැදී පැවතීම භාහිර  පරිසරයට සාපේක්ෂව ඉතා වැඩි වශයෙන් සිදුවන බවයි. එසේ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යය රැදී පවතින වාතය ආශ්වාස කරන සෑම වතාවකදීම ඒවා අපේ ශරීරයට යම් පමණකින් ඇතුළු වීම සිදුවේ.

අපේ රටේ රෝහල්ගත වීම්  වලට ප්‍රධානතම හේතුවක් වන්නේ ගෘහ තුල වාතය ගුණාත්මක නොවීමයි. Sick building syndrome යනු මෙම ගැටලුවේ උච්චතම අවස්ථාවකි. ශ්‍රීලංකාවේ විශ්විද්‍යාල දේශන ශාලාවකද මෙම හේතුව නිසා උදෑසන පවා සිසුන් නිදා වැටීමේ යම් ගැටළුවක් මතුවූ බව මම අසා ඇත. පසුව, ගොඩනැගිල්ලේ සිදුරක් විද වාතය හුවමාරු වීම වැඩි කල පසු එම ගැටලුව විසදුනු බව පසුව මගේ මිතුරෙකු මා සමග කීවේය. අලුත් පොත් වලින්, අලුත් ඇදුම් වලින්, විදුලි උපකරණ වලින් යම් සුවඳක් නැගෙන බව ඔබ අත් දැක ඇතුවාට නිසැකයි. ඒ සියලු සුවඳ එන්නේ ශරීරයට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග වලිනි. නිවසේ දොර ජනෙල් වසා තබාගෙන සිටින්නේ නම් ඔබ ඒ සියලු වි සංයෝග වලට අතිශය නිරාවරණ වේ.  

එම නිරාවරණ වීම කොයිතරම් දැයි වටහා ගැනීමට අපි උත්සහ කරමු. මීට අපට ආකෘතියක් භාවිතා කල හැකියි. එම නිරාවරණ වීම අඩු කර ගැනීමට ක්‍රියා කළහැකි ආකාරය ද එමගින්ම සාකච්චා කරමු. 

ගෘහස්ත වාතයේ ගුණාත්මක භාවය ආදෘශ්‍යනය Indoor Air Quality Modelling

ගෘහස්ත වාතයේ ගුණාත්මක භාවය ආදෘශ්‍යනය සඳහා බොහෝවිට යොදාගන්නේ Continuous-flow stirred-tank reactor (CFSTRමොඩලයයි (1. රූපය). මෙම සමාකරණය සඳහා මම US EPA විසින් ඉදිරිපත් කල සරල මෘදුකාංගය භාවිත කරමි. මෙම මෘදුකාංගයට ඉහත මම දක්වා ඇති CFSTR මොඩලයේ විවිධ අවස්ථා වලට අදාළ දත්ත එක් කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලය පහත දක්වා ඇත. එම මොඩලය මෙම සබැඳියෙන් බාගත කරගෙන විවිධ තත්වයන් යටතේ වාතයේ තත්වය සමාකරණය කිරීමට ඔබටද උත්සාහ කල හැකිය.   
1. රූපය CFSTR මොඩලය නිරූපණය කරන කාමරයක්. 


අවස්ථාව (1)  දොර ජනෙල් වසා ඇති කාමරයක් තුල දුම් වැටියක් දල්වා ක්ෂණිකව නිවාදැමීම.

කාමරයේ ප්‍රමාණය ඝන මීටර 10 පමණ ලෙස ගනිමු. බොහෝ දෙනා දුම් බොන්නේ කාමරවල ජනෙල් දොරවල් වසාගෙන බැවින්, පැයක් තුල වාතය හුවමාරු වීමේ ප්‍රමාණය 50% පමණ (ඝන මීටර 5) යයි සිතමු. දුම්වැටියක් මගින් මිනිත්තුවකට නිකොටීන් දුම මිලිග්‍රෑම් 1 ක් පමණ විමෝචනය කරන බව සිතමු. කාලය 0.1 h වන විට දී දුම් වැටිය දැල්වීම සිදුකර, නමුත් ඒ මොහොතේම ක්ෂණිකව නිවා දැමීම සිදු කලේ යයි සිතමු. සමාකරණ ප්‍රතිඵලය (simulation result) පහත ප්‍රස්ථාර ගත කර ඇත. කාමරය තුල සිටින කාන්තාව සාමාන්‍ය විවේකයෙන් සිටින ලෙස සලකා මිනිත්තුවකට වාතය ලීටර් 8 පමණ හුස්ම ගන්නේ නම් ඇයගේ ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය ද ප්‍රස්තාර ගත කරමු. 

ප්‍රස්ථාරය අනුව පෙනෙන්නේ දුම්වැටිය දල්වා ක්ෂණිකව නිවුවද, පැයක් යනතුරුත් සැලකිය යුතු දුමක් කාමරය තුල රැදී තිබෙන බවයි. කාමරයේ සිටින කාන්තාවගේ ශරීරයට දුමෙහි අඩංගු දුෂක මිලිග්‍රෑම් 0.002 පමණ අවශෝෂණය වන බව පෙනේ. 

2. රූපය කාලයත් සමග කාමරය තුල දුම සාන්ද්‍රණයේ විචලනය


3. රූපය කාලයත් සමග දුම ස්වසනය මගින් ශරීරයට ඇතුළු වූ ප්‍රමාණය.


අවස්ථාව (2)  දොර ජනෙල් විවුර්ත කර ඇති කාමරයක් තුල දුම් වැටියක් දල්වා ක්ෂණිකව නිවාදැමීම.

පෙර සැලකු කාමරයේ දොර ජනෙල් ඇර ඇති නිසා වාතය හොදන් හුවමාරු වනවා යයි සිතමු. පැයක් තුල වාතය හුවමාරු වීමේ ප්‍රමාණය 500 % පමණ (ඝන මීටර 50) යයි සිතමු. සමාකරණ ප්‍රතිඵලය නැවත පහත ප්‍රස්ථාර ගත කර ඇත. කාමරය තුල සිටින කාන්තාව සාමාන්‍ය විවේකයෙන් සිටින ලෙස සලකා මිනිත්තුවකට වාතය ලීටර් 8 පමණ හුස්ම ගන්නේ නම් ඇයගේ ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය ද නැවත ප්‍රස්තාර ගත කරමු.
4. රූපය කාලයත් සමග කාමරය තුල දුම සාන්ද්‍රණයේ විචලනය
5. රූපය කාලයත් සමග දුම ස්වසනය මගින් ශරීරයට ඇතුළු වූ ප්‍රමාණය.
ප්‍රස්ථාරය අනුව පෙනෙන්නේ පැයක් ගත වීමටත් පෙර කාමරයේ තිබු දුම සම්පූර්ණයෙන්ම ඉවත්වී ගොස් ඇති බවයි. කාමරයේ සිටින කාන්තාවගේ ශරීරයට දුමෙහි අඩංගු දුෂක මිලිග්‍රෑම් 0.0005 පමණ අවශෝෂණය වන බව පෙනේ. එනම් ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය පෙර අවස්ථාවට වඩා 75% ක් පමණ අඩුවී ඇත. 

අප මෙහි උදාහරණයට ගත්තේ දුම්වැටියක් වුවද දුම් නොබොන අයටද මෙය ඉතාමත් අදාළ වේ. මදුරු දඟරයක්, හෝ හදුන් කුරක් ක්‍රියා කරන්නෙත් දුම් වැටිය ක්‍රියා කරන ආකාරයටම විෂ දුම් නිකුත් කරමිනි. දුම් නොබොන ගෘහනියන් සන්ධ්යාවේ දොර ජනෙල් වසා නිවාස  තුල හඳුන් කුරු දල්වා, උදැසන වෙන තෙක්ම දොර ජනෙල් වසාගෙන සිටීමෙන් සමහර විට දුම් බොන්නෙකුටත් වඩා විෂ දුමට නිරාවරණය විය හැකියි. හදුන් කුරු සාම්බ්රානි දල්වනවා නම් හොදින් දොර ජනෙල් ඇර තැබිය හැකි අවස්ථාවක එය කිරීම වඩා සුදුසුයි. වායු සමනය කර ඇති ඇගලුම් කරමාන්ත ශාලා වල ඇදුම් වල ඇති වාෂ්පශීලී විෂ සංයෝග සාන්ද්‍රණය වැඩිවෙමින් එක්රැස්වෙමින් පවතින නිසා සේවිකාවන් ඒවාට වඩාත් නිරාවරණ වේ. බොහෝ විට හාර විෂවීම් ලෙස වැරදියට හදුනාගන්නේ මෙම වාතය විෂවීම් බව අපේ රටේ මහාචාර්යවරයෙකු නිතරම පවසන බව මට මතකයට නැගේ. සේවිකාවන් සියලු දෙනාම එක හා සමාන රෝග ලක්ෂණ පෙන්වන විට රෝහල් බලදාරීන් හාර විෂ වීමක් ලෙස පහසුවෙන් ම නිගමනය කරන්නේ ඔවුන්ගේ කෑම බීම එකට සකසා ලබාදෙන නිසායි. නමුත් එය බොහෝ විට නිවරදි නොවන නිගමනයක් බව ඔහුගේ අත්දැකීම බව ඔහු පැවසුවා මගේ මතකයේ ඇත. අපේ අත්දැකීම නම් බොහෝ රෝග ගණනාවකට හේතුවන ගෘහස්ත වායු තත්වය බිඳ වැටීමට තවම අපේ රටේ ප්‍රමාණවත් අවධානයක් ලැබී නොමැති බවයි.

සාරාංශය
අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. අපේ රටේ රෝහල්ගත වීම්  වලට ප්‍රධානතම හේතුවක් වන්නේ ගෘහ තුල වාතය ගුණාත්මක නොවීමයි. ගෘහය තුල වායු දුෂක ප්‍රභවයන් තිබෙන විට දොර ජනෙල් හැරදා වාතය හුවමාරු වීමේ සීඝ්‍රතාවය වැඩි කිරීමෙන් මේ දුෂක වලට නිරාවරණය වන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පාහේ අඩු කරගත හැකිය. දුම් නොබොන ගෘහනියන් සන්ධ්‍යාවේ නිවාස දොර ජනෙල් වසා තුල හඳුන් කුරු දල්වා උදැසන වෙන තෙක් දොර ජනෙල් වසාගෙන සිටීමෙන් සමහර විට දුම් බොන්නෙකුටත් වඩා විෂ දුමට නිරාවරණය විය හැකියි. හදුන් කුරු සාම්බ්‍රානි දල්වනවා නම් හොදින් දොර ජනෙල් ඇර තැබිය හැකි අවස්ථාවක එය කිරීම වඩාත් සුදුසුයි. කෙසේ නමුත් භාහිර වාතය අතිශයින් දුෂණය වී ඇති මහනුවර වැනි ප්‍රදේශවල නම් දොර ජනෙල් ඇර තැබීමෙන් වන්නේ දුෂිත වාතයට වැඩිපුර නිරාවරණ වීමයි. මෙහිදී මා යොදාගත් මොඩලය මෙම සබැඳියෙන් බාගත කරගෙන විවිධ තත්වයන් යටතේ වාතයේ තත්වය සමාකරණය කිරීමට ඔබටද උත්සාහ කල හැකියි. ඇත්ත වශයෙන්ම Indoor Air Quality  යනු මම උසස්  අධ්‍යාපනයේදී උගත් එදිනෙදා ජීවිතයට වඩාත් වටිනාම කොටස යයි මම සිතමි. එය ඉගැන්වූ මහාචාර්යතුමන්ලාට ඒ ගැන පින් සිදුවිය යුතුයි.